ජාතික පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට

ජාතික පොලිස් කොමිසමේ ලේකම් අත්අඩංගුවට

ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (18) දා සවස අත්අඩංගුවට ගනු ලැබීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගොස් එහි ප්‍රතිකාර ලබමින් සිටි ලේකම්වරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ඔහු අත්අඩංගුවට ගන්නා මෙන් නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් පෙරේදා (17) වැඩබලන පොලිස්පතිවරයාට දැනුම්දී තිබුණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ඇති නිසා ගිනි අවි පනත යටතේ හිටපු ලේකම්වරයා අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී තිබුණි.

පාවෙන අවි ගබඩාවේ සිද්ධියට තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අපේක්ෂිත ඇප අයැදුම්පත පෙරේදා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රතික්ෂේප කළේය.

ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධව නම් කර ඇති සැකකරුවන් 8 දෙනාගෙන් මේ වනවිට 4 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට රැගෙන තිබේ. සෙසු සැකකරුවන් සිව් දෙනා විදේශගත වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

[කමල් ශ්‍රී ලියනගේ]

මාතෘකා