ආණ්ඩුවෙන් අලුත් පිම්මක්

 ඡායාරූපය:

ආණ්ඩුවෙන් අලුත් පිම්මක්

ජනපති වැඩ රැසක

රටේ ස්වාධීනත්වයට හා ස්වෛරීත්වයට අභියෝගයක් වන මෙන්ම රටට නොගැළපෙන කිසිදු ආකාරයේ විදේශීය ගිවිසුමකට කිසිදු බලවතකු සමඟ අත්සන් තැබීමට තම නිල කාලය තුළ ඉඩ නොතබන බව ජනාධිපතිවරයා පැවසුවේ පසුගිය 6 වැනිදාය.

මෙරට දැවැන්තම වාරි ව්‍යාපෘතියක් වූ මොරගහකන්ද - කළු ගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට දැනුමෙන්, ශ්‍රමයෙන් හා අප්‍රතිහත ධෛර්යයෙන් නිසි දායකත්වය උපරිමයෙන් ලබා දුන් පිරිස ඇගයීමට ලක් කිරීමේ 'ප්‍රශස්ත සේවා ඇගයුම්' උලෙළ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (08) පෙරවරුවේ මොරගහකන්ද ජලාශ පරිශ්‍රයේදී පැවැත්විණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම වෘත්තිය උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස, නයිජල් හැච්, නීතිඥ ජාවිඩ් යුසුෆ්, ආචාර්ය රාම් මාණික්කලිංගම්, ආචාර්ය සුරේන් රාඝවන් යන මහත්වරු කටයුතු කරති.

සෝෆා ගැන අගමැති කී කතාව

ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට නියමිත සෝෆා ගිවිසුම ගැන දේශපාලන ලෝකයේ ඇතිවූ ආන්දෝලනය තවමත් අවසන් වී නැත. සෝෆා ගිවිසුම සම්බන්ධයෙන් මැති ඇමැතිවරු දේශපාලන වේදිකාවේදී මෙන්ම පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීම් තවමත් අවසන් කර නැත. පාර්ලිමේන්තුවේදී මේ සතියේදී මෙය නැවත ඇදී ආවේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා නැඟූ ප්‍රශ්නයක් නිසාය.

" ආණ්ඩුව සෝෆා කියලා ගිවිසුමක් අත්සන් කරන්න යනවා. මේ ගිවිසුම ඇමෙරිකානු හමුදාවන්ට ලංකාවට එන්න ඉඩ දෙන ගිවිසුමක්. මෙරටදී වියානා සම්මුතිය අනුව ලැබෙන වරප්‍රසාද ඇමෙරිකානු හමුදාවට ලැබෙනවා" අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. අනුර කුමාර එම චෝදනාව කළේ අගමැතිවරයා වෙත ප්‍රශ්ණයක් යොමු කරමින්ය. අගමැතිවරයාට ප්‍රශ්නය යොමු කිරීමට සූදානමින් සිටියේ අනුර කුමාර දිසානායක පමණක් නොවේ. බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාද මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදී නැඟීමට සූදානමින් සිටින බව කථානායකවරයාට දැනුම් දී තිබුණේය. එහෙත් පාර්ලිමේන්තුවේදී එය ඇසීමට ඔහු පැමිණ සිටියේ නැත.

අනුර කුමාර දිසානායක නැඟූ මේ චෝදනාවන්ට පිළිතුරු දීමට නැඟී සිටියේ අගමැතිය.

"මගේ මිත්‍ර බන්දුල ගුණවර්ධන අද ප්‍රශ්න අහන්න ආවේ නෑ. බන්දුල ගුණවර්ධන වෙන සෝෆාවක දැන් වාඩිවෙලා ඇති. පරණ ගිවිසුම් තිබුණා විතරයි. ඒක හැරෙන්න වෙන සෝෆා නැහැ. වෙන සෝෆාවකට තියෙන්නේ අර ආලින්දයේ තියෙන‌ සෝෆා විතරයි. ඇමෙරිකාව සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට ලියුම් හුවමාරු කරගත්තේ චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය යටතේ ඇමෙරිකාව සමඟ ගිවිසුමක් අත්සන් කළා. ඒ ගිවිසුම 2017 වසරේදී අවසන් වීමට නියමිතයි. මේ සෝෆා ගිවිසුමක් ගැන ගෝනි බිල්ලෙක් මවන්න විපක්ෂය උත්සාහ ගන්නවා. අලුත් ගිවිසුමක් අපි අත්සන් කරලා නෑ.

“මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැනත් කතා කරනවා. මේක ඇමෙරිකාව හා ලංකාව අතර ආධාර ලබාගැනීමට අදාළ වන ගිවිසුමක් පමණයි" අගමැතිවරයා කරුණු පැහැදිලි කළේය.

මේ අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධනද තහවුරු කර සිටියේ රටට අහිතකර කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන බවය.

ජනාධිපති එංගලන්තයට

ජනාධිපතිවරයා ලන්ඩනය බලා පිටත්ව ගියේය. ඒ තමන්ගේ පුතාගේ හා ලේලියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීමටය. ඔහු සිය පුතාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීමට පෙර කැබිනට් මණ්ඩලය කැඳවූවේය. ඒ ඉරිදා සවසය. ඉරිදා සවස කැබිනට් මණ්ඩලය කැඳවා ඉන්පසුව ජාතික ආරක්ෂක කවුන්සිලයත් කැඳවා ලන්ඩනය බලා පිටත්ව යෑම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව විය. ඔහු කලින් සැලසුම් කර තිබුණේ ඉරිදා සවස ලන්ඩන් බලා පිටත්ව යෑමටය. එහෙත් ඔහු පිටත්ව ගියේ අඟහරුවාදාය.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සහභාගී වූ මංගල සමරවීර ඇමතිවරයාගේ චරිතාපදානය එළිදැක්වීමේ උත්සවය තිබුණේද ඉරිදාය. කැබිනට් රැස්වීම පැවැත්වීම නිසා ඒ උත්සවයට එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන්ට සහභාගි වීමට තිබූ අවස්ථාවන්ට කිසියම් බාධාවක් කිරීම ඉරිදා කැබිනට් රැස්වීමේ අරමුණ බවට ඉඟි පළ කිරීමට ඔහුට අවශ්‍ය වී තිබුණේය.

කථානායකට සඟරුවනේ සම්මානය

අමරපුර නිකායේ ආදි කතෘන් වහන්සේලා අනුස්මරණය කරමින් අමරපුර දින සැමරුම් උලෙළ සහ ඊට සමගාමීව සම්බුදු සසුන වෙනුවෙන් අමිල සේවයක් ඉටු කළ කථානායක කරු ජයසූරිය මහතා 'සාධුජන ප්‍රසාදිනී ලංකාපුත්‍ර' සම්මානයෙන් අභිසෙස් ගැන්වීම පසුගියදා සිදුවූයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය.

ඊට මහසඟරුවන ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ආණ්ඩුව පැන්න පිම්ම

මේ සතියේ ආණ්ඩුවට තම ස්ථාවරත්වය යළිත් රටට පෙන්වීම සඳහා දැවැන්ත පිම්මක් පැනීමට සිදුවිය. ඒ ජවිපෙ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට අදාළ විවාදය සහ ඡන්ද විමසීම තුළිනි. බදාදා ඇරැඹූ එම විවාදය තුළින් වඩාත් කැපී පෙනුණේ ආණ්ඩු විරෝධයට වඩා විපක්ෂ කණ්ඩායම අතර ඇති දේශපාලනික සහ න්‍යායාත්මක පරස්පරතාය. ඔවුනොවුන් තම තමන්ගේ ශක්තිය වාචිකව පෙන්වන ගමන් ආණ්ඩුවට වඩා විපක්ෂයේම සෙසු කණ්ඩායම්වලට ප්‍රහාර එල්ල කිරීම විශේෂත්වයක් විය. බ්‍රහස්පතින්දා උදයේම අගමැතිවරයා පාර්ලිමේන්තුවට ගියේ එදින සවස විශ්වාසභංගයට අදාළව පැවැත්වූ ඡන්ද විමසීමේ ගණන් හිලව් සමබර කරගැනීමේ මෙහෙයුම සඳහාය.

සුදු ජූලියෙන් ලැබුණු ‌දේවල්

"සුදු ජූලිය පටන් ගත්ත දා ඉඳලා ජනතාවට වැඩි පඩි, වැඩි විශ්‍රාම වැටුප්, ඉන්ධන මිල අඩුකිරීම්, පවුල් ලක්ෂ 6කට සමෘද්ධි ලබාදීම් විතරක් නෙවෙයි දේශපාලන පළිගැනීම්වලට ලක්වූ 30,000කට ජීවිත, දේපළ හා පළිගැනීම්වලට එරෙහි වන්දි ලබාදීම ඇරඹීම ගැනත් ජනතාව විශාල ලෙස සතුටු වෙනවා." මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.

"සෝෆා හා ඇක්සා ඇමෙරිකානු ගිවිසුම් 1995දී චන්ද්‍රිකා ආණ්ඩුව හා 2007දී මහින්දගෙ ආණ්ඩුවයි ගැහුවේ. 2007 ඇක්සා එක ගෝඨාභය හා රොබට් ඕ බ්ලේක් කියන ඇමෙරිකානු පුරවැසියො දෙන්නයි අත්සන් කරලා තියෙන්නෙ. රටට අහිතකර කොන්දේසි ඉවත් කරලා රටට වාසි විදියට ඒවා පවත්වාගෙන යන්න පුළුවන්ද කියලයි මේ ආණ්ඩුව බලන්නෙ..." දයා ගමගේ කීවේ එවැන්නකි.

බොරු චෝදනා

"සජිත් ඇමතිතුමා ඇතුළු මේ ආණ්ඩුව දාගැබ් 1126ක් හා දහම් පාසල් ගොඩනැඟිලි 815ක් හදද්දිත් පන්සල් දහස් ගාණක් වැඩිදියුණු කරද්දිත් බුදුදහම අනතුරේ කියලා සුළු පිරිසක් කෑ ගහනවා. රාජපක්ෂ ආණ්ඩුවෙන් නිවන් යන්න වාහන හත අටක් ගත්ත, කෝටි ප්‍රකෝටි ගණන් බිස්නස් කරගත්ත, පිටරටින් ඩොලර් මලු පූජාවට ලබාගත්ත, පන්සිල් පද පහවත් පේළියට කියන්න බැරි චීවරධාරීන් තමයි වරප්‍රසාද නැතිකමට අද මේ කෑගහන්නේ" එජාප ඉහළ නිලධාරියෙක් කීය.

"පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ ආණ්ඩුවේ ශක්තිමත් බව රටට පෙන්නන්න විපක්ෂය අපිට හොඳ අවස්ථාවක් ලබාදුන්නා කියලයි හිතෙන්නෙ" අගමැතිවරයා කීවේ මඳ සිනහවක්ද සමඟිනි.

"රිෂාඩ්ගෙ විශ්වාසභංගෙ ඉවත්වෙලා තියන වෙලාවේ මෙහෙම එකක් ආපු එක මෝඩ වැඩක්. අන්තිමට ගෙනාපු අයයි පච වෙන්නේ" නවීන් දිසානායකගේ මතයට කාගේත් එකඟත්වය පළ විය.

දයාසිරි ඇණගනී

"ප්‍රහාරය ගැන සොයන තේරීම් කාරක සභාවට දයාසිරි නොගිහින් ඉන්නයි හැදුවේ. කථානායකතුමාගෙ නිවැරදි ස්ථාවරය නොයන්නේ හංගන්න දේවල් තියෙන නිසාද කියලා කිරිඇල්ල ඇමතිතුමා අහපු නිසා එතනදි දයාසිරිට ඒක මඟාරින්න බැරිවුණා." චමින්ද විජේසිරි කීවේය.

"එක්තරා හෝටලයක එදා බෝම්බෙ පුපුරවන්න ත්‍රස්තවාදීන් ක්‍රියා නොකළේ ඒකෙ හිටපු ප්‍රභූන් නිසා කියලා දයාසිරි මාධ්‍යට කිව්වා. ඒ ගැන අහන්න කාරක සභාව ඔහු ගෙන්නුවත් එයාට හරි පැහැදිලි කිරීමක් කරගන්න බැරිවුණා. මේ සමහර දේශපාලකයො එක්කෝ ඇත්ත හංගනවා, නැත්නම් ටී.වී. මයික් එකක් දැක්කම කටට එන වල්පල් කියලා රට නොමඟ යවනවාද කියලා අපට තේරෙන්නෙ නෑ.” මහාචාර්ය ආශු මාරසිංහ කී දේ සියලු දෙනා අනුමත කළහ.

සජිත් - චන්ද්‍රිකා හමුවෙයි

ඉන්දීය ආධාර යටතේ ඉදිකළ නිවාස ව්‍යාපෘතියක් විවෘත කිරීම සඳහා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා කැටුව ගොස් සිටියේ හිටපු ජනාධිපතිනියයි.

"සජිත්, මේ ගෙවල් හරිම ලස්සනයි‌නේ. කොහෙන්ද සල්ලි?" හිටපු ජනාධිපතිනිය ඇසුවාය.

"මගේ ජාත්‍යන්තර සම්බන්ධතාවල පිහිටෙන් තමයි" සජිත් උත්තර දුන්නේය.

"ඔයා ඉතින් ණය අරගෙන මේ වගේ වැඩ කරන්නේ නෑනේ" චන්ද්‍රිකා සිනාසෙමින්ම කීවාය.

"අනිත් අය ගිනි පොලියට සල්ලි අරගෙන සංවර්ධන ව්‍යාපෘති කරනකොට ඉන්දියාව මගේ නිවාස ව්‍යාපෘතිවලට සල්ලි දුන්නේ ආධාරයක් විදියට" සජිත් පැහැදිලි කළේය.

නිවාස ව්‍යාපෘති විවෘත කරමින් කාර්යබහුලව සිටින සජිත් පසුගිය සතියේදී මාතර ගියේ මංගලගේ චරිතාපදානය එළිදැක්වීමේ අවස්ථාවට එක්වීමටය. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ සජිත්ය. කවුරුත් සජිත් ගැන අවධානය යොමු කළේ මීළඟ ජනාධිපති අපේක්ෂකත්වයට ඔහු පත්වීමට නියමිතව ඇතැයි දේශපාලන ලෝකයේ ඇතිවී තිබෙන කතාබහ නිසාය. තමන් ජනාධිපති අපේක්ෂකත්වයට පත්වන්නේද නැද්ද යන්න ගැන කෙළින් උත්තරයක් නොදුන් සජිත් කීවේ තමන් අවස්ථාව ලැබුණු වහාම මේ රටේම ජනතාවගේ ජනතා සේවකයා බවට පත්වීමට තමන් සූදානමින් සිටින බවය.

 

පොහොට්ටුවේ අසාර්ථක කතා

පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ආරම්භ වී තිබෙන සාකච්ඡා අවසන් එකඟතාවකට පත්කර ගැනීමට තවමත් හැකි වී නැත. මාස ගණනක් තිස්සේ ඇදී යන මේ සාකච්ඡාවලින් පෙන්නුම් කරන්නේ නොකෙරෙන දීගයක් ගැන කතාවක් බවය.

පොහොට්ටුව සමඟ අසාර්ථක දීගයකට උත්සාහ ගත්තද පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයකු ගැන අවසන් එකඟතාවක් ඇති කරගැනීමටද හැකියාවක් ලැබී නැත.

වාසුගෙනුත් අමුතු කතාවක්

පොහොට්ටුවට තවමත් අපේක්ෂකයකු හෝ වැඩපිළිවෙළක් හෝ සන්ධානයක් නොමැති බවත් මහින්ද රාජපක්ෂ මහතා අඩමානෙට හෝ බලාපොරොත්තුව සිටින්නේ මහ මැතිවරණයක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක්වෙමිනි.

මේ වන විට සියල්ල ප්‍රමාදව තිබෙන බව පවසන මන්ත්‍රීවරයා ඉක්මනින් ඒවා ආරම්භ කළ යුතු බවද සඳහන් කළේය. පක්ෂ නායකයන් මුණගැසෙන විට මේ බව තමන් නැවත නැවත මතක් කළත් ඊට අවශ්‍ය බරක් නොතබන බවද සඳහන් කළේය. එසේම මහින්ද රාජපක්ෂ මහතා තම අදහස්වලට ඇහුම්කන් දෙන ප්‍රමාණයකුත් නොදෙන ප්‍රමාණයකුත් තිබෙන බව පවසන ඔහු මහින්ද රාජපක්ෂ මහතා කල්පනා කරනවා ඇත්තේ මහ මැතිවරණයක් ගැන විය හැකි බවද පැවසීය.

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා අගෝස්තු 11 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති බව දැනටමත් දැනුම් දී ඇති නිසා ඔවුන්ට අපේක්ෂකයකු සොයා ගැනීමටද සිදුව ඇත. හදවත් සැත්කමකට ලක්ව සිටින ගෝඨාභය රාජපක්ෂද ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන්නේද යන්න ගැන අවසන් එකඟතාවක් තවම නැත.

පොහොට්ටුවෙන් දිනේෂ්?

මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් විමසා ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වයට සූදානම් වන ලෙසය.

ඉරාජ් පොහොට්ටුවට

මේ දිනවල ආන්දෝලනාත්මක චරිතද නෙළුම් මාවතේ පිහිටි කාර්යාලයට ගොස් සිටී. අසභ්‍ය ප්‍රකාශ නිසා තමන්ගේ ෆේස්බුක් පිටුව අහිමි කරගෙන සිටින එහෙත් එයට දේශපාලනයක් ඈඳීමට උත්සාහ ගන්නා ඉරාජ් වීරරත්න නෙළුම් මාවතට පැමිණියේ බැසිල් රාජපක්ෂ හමුවීමටය. බැසිල් හමුවීමට පැමිණ ඔහුගේ කාර්යාලය අසල බලාගෙන සිටින වේලාවේදීත් ඉරාජ් කළේ කාර්යාලයේ සිටි තරුණ තරුණියන් සමග සෙල්ෆි ඡායාරූප ගැනීමය.

බැසිල් සමඟ ටික වේලාවක් කතා කරමින් සිටි ඉරාජ් පිටත්ව ගියේ පොහොට්ටුවේ දේශපාලන වැඩවලට සම්බන්ධ වීම ගැනත් ඉඟියක් දෙමිනි.

පසුගිය කාලයේ ජින්ජර්, ගයේෂා, අනර්කලී වැනි චරිත රැසක් මහින්ද පිල සමඟ එක්ව සිටි බව බොහෝ දෙනාට මතකය.

මාතෘකා