යාපනය සිට කොළඹට අඩුම ගුවන් ටිකට්පත්

 ඡායාරූපය:

යාපනය සිට කොළඹට අඩුම ගුවන් ටිකට්පත්

 

ශ්‍රී ලාංකේය සිවිල් ගුවන් ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක් කරමින් පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තරයට විවෘත කිරීමට හැකියාව ලැබීම සුවිශේෂී ජයග්‍රහණයක් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (05) යාපනය පලාලි ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්තොටුපළක් ලෙස ප්‍ර‍වර්ධනය කිරීමේ රාජ්‍ය උත්සවයට එක්වෙමිනි.

 

පලාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබෙන බවත් ඒ අනුව එළැඹෙන අගෝස්තු මාසය වන විට පලාලි ගුවන්තොටුපළ හරහා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවත් අමාත්‍යවරයා එහිදී  කියා සිටියේය. ඉදිරියේදී අපි මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර පලාලි ගුවන්තොටුපොළින් සිදු කෙරෙන ගුවන් ගමන් සඳහා අවම මිල ගණන් යටතේ ගුවන් ටිකට්පත් මහජනතාවට නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් සකසනව බවත් හෙතෙම එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

 

යාපනය පලාලි ගුවන්තොටුපළ සංවර්ධනයට දැනට ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2 250ක් වේ. ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර රුපියල් මිලියන 300ක් වශයෙන් යොදවයි. ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ගුණවර්ධන මහතා පවසන්නේ අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේදී දැනටමත් ගුවන් යානා මෙහෙයුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙන ප්‍රධාන ධාවන පථයෙහි මුල් මීටර් 950 අලුතින් ආස්ථරණය කෙරන බවයි. ඒ සමඟම ආසන 72ට අඩු Bombardier - 100 වර්ගයේ ගුවන් යානා පලාලි ගුවන්තොටුපොළෙහි හැසිරවීමේ අවස්ථාව උදා වේ. ව්‍යාපෘතියේ දෙවැනි අදියරේදී සිදු කෙරෙන්නේ එම ප්‍රධාන ධාවන පථය කිලෝ මීටර් 1.5 දක්වා අලුතින්ම ආස්ථරණය කිරීමයි. උත්සවයේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පෙන්වා දුන්නේ මෙම ගුවන්තොටුපොළ සිවිල් ගුවන්සේවා මෙහෙයුම් ව්‍යාප්ත කිරීමත් සමඟ පැය ගණනක් නාස්ති කරමින් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත ගමන් අපහසුතාවය පහසුවෙන්ම විසඳෙන බවයි.