නිදහස්, සාමකාමී රටක් වෙනුවෙන් සියලු ජනතාව අතර භාෂා දැනුම ප‍්‍රවර්ධනය විය යුතුයි

 ඡායාරූපය:

නිදහස්, සාමකාමී රටක් වෙනුවෙන් සියලු ජනතාව අතර භාෂා දැනුම ප‍්‍රවර්ධනය විය යුතුයි


රටේ සියලු ජන කොටස් අතර විශ්වාසය, සහයෝගය සහ අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනැංවීමට අවශ්‍ය ප‍්‍රධාන සාධකය භාෂා දැනුම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (01) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති රාජ්‍ය භාෂා දින උත්සවය අමතමිනි.

රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්ති ඵලදායීව කි‍්‍රයාත්මක කිරීමේ අරමුණින් රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමේ සතියක් අද සිට ජූලි 05 වැනිදා දක්වා කි‍්‍රයාත්මක අතර එහි සමාරම්භක අවස්ථාව එහිදී සනිටුහන් කෙරිණි. ජාතික ඒකාබද්ධතා රාජ්‍ය භාෂා සමාජ ප‍්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය වැඩසටහන මෙහෙයවයි.

රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය කෙරෙහි ශ‍්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ නිසි අවධානයක් තවමත් යොමු නොවීම හේතුවෙන් මතුව ඇති තත්ත්වයද එහිදී පැහැදිලි කළ ජනාධිපතිවරයා කියා සිටියේ තමන්ගේ භාෂාවට ගෞරවයක් ලබා දෙනවා සේම අනෙක් භාෂා පිළිබඳවද සියලුදෙනා දැනුවත් වී සිටීම ඉතා වැදගත් බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රටේ ජීවත්වන ජනතාව අතර බිය සැක සහ අවිශ්වාසය ගොඩනැගී ඇත්තේ එකිනෙකා හඳුනා නොගැනීමෙන් බවයි. එබැවින් සියලු ජනතාව සතුටින් ජීවත්වන සාමකාමී සහ නිදහස් රටක් ගොඩනැගීමට දරුවන් සහ පොදු ජනතාව අතර භාෂා දැනුම ප‍්‍රවර්ධනයට විශේෂ අවධානයක් යොමු විය යුතු බවද ජනාධිපතිවරයා  සඳහන් කළේය.  එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් දායකත්වය ලබාදෙන භාෂා විගණන වාර්තාව ඉදිරිපත් කිරීම සහ ත්‍රෛභාෂාවට පරිවර්තනය වූ පෝරම් වෙබ් අඩවිය මඟින් ප‍්‍රකාශයට පත් කිරීමද මෙහිදී සිදු විය.