මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් චක්‍රලේඛ, නීති රෙගුලාසිවලට වඩා නිවැරදි දැනුවත් කිරීම් හරහා විශාල මැදිහත්වීමක්

 ඡායාරූපය:

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් චක්‍රලේඛ, නීති රෙගුලාසිවලට වඩා නිවැරදි දැනුවත් කිරීම් හරහා විශාල මැදිහත්වීමක්

මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ මැදිහත්වීමක් සිදුකරන විට ඒ සඳහා නීති රෙගුලාසි සහ චක්‍ර ලේඛ මගින් ගත හැකි ක්‍රියාමාර්ගවලට වඩා බලවත් මැදිහත්වීමක් නිවැරදි සමාජ දැනුවත් කිරීම් හරහා සිදුකළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ජනාධිපති කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාවට නංවනු ලබන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියෙහි සිවුවැනි දිනයට අදාළව යෙදී තිබූ දේශපාලන නායකයින් සමඟ මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පැවති සංවාද හමුවට එක්වෙමිනි. රාජගිරිය ජනාධිපති විද්‍යාලයේ දී දේශපාලන නායකයින් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සංවාද හමුව පැවැත්විණි. මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව, සෞඛ්‍ය ගැටළු, මානසික පීඩා, ජීවිත විනාශ, පවුල් සම්බන්ධතා බිඳ වැටීම්, සමාජ පරිහානිය ඇතුළු විවිධ ගැටළු කෙරෙහි රටේ දරුවන් සහ තරුණ පරපුර නිවැරදි ව දැනුවත් කිරීම අඛණ්ඩවම සිදුවිය යුතුව පවත්නා බවත්, එවිට වැරදි, නුසුදුසු සහ අහිතකර භාවිතයන් කෙරෙහි දරුවන් තුළ බියක් ඇතිවන අතර ස්වයං පාලනයකට යොමුවීමේ වැඩි නැඹුරුතාවක් ඇති කරගන්නා බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.  කිසියම් මත්ද්‍රව්‍යයක් සම්බන්ධව තොරතුරු අනාවරණය වූ විට ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි වුවත්, ඊට ආදේශක රැසක් ඉන් අනතුරුව නැවතත් හඳුන්වාදීම නොවැළැක්විය හැකි බවත්, එමෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් මේ සම්බන්ධව නීතිමය පියවර ගන්නා අය සහ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් පෙනී සිටින අය යම් යම් ක්‍රමවේද මගින් නඩත්තු කරන බවත්, මෙවැනි හේතූන් නිසා නිවැරදි ප්‍රජා දැනුවත්කිරීම් හරහා මේ සම්බන්ධව විසඳුම් සෙවීම වඩාත් ප්‍රායෝගික වන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. කෙසේවුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ තොරතුරු හෙළි කරන අයවලුන්ගේ රහස්‍යභාවය සියයට සියයක් ම සුරක්ෂිත කිරීමට රජය සහතික වන බවද අමාත්‍යවරයා මෙම සංවාද හමුවේදී සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් සඳහන් කළේය.