සජිත්ගෙන් තම්මැන්නාවට 'සඳළුගම'

 ඡායාරූපය:

සජිත්ගෙන් තම්මැන්නාවට 'සඳළුගම'

මනුෂ්‍යත්වය තුළ ඇති උදාරතම ගුණාංගය වනුයේ කෙළෙහිගුණ දැක්වීම හා ප්‍රතිඋපකාර කිරීම බවත්, තමන් ජනතා නියෝජිතයෙකු ලෙස පත්කර ගැනීමට කෙළෙහිගුණ දැක්වීම වස් රටේ උදා ගම්මාන 20,000ක් ආරම්භ කර සැමට සෙවණ ලබා දෙන බවත් නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විට උදා ගම්මාන 2,500ක් හා ඉන් පසුව පියවර 3ක් යටතේ උදා ගම්මාන 17,500ක් ඉදිකිරීමට සැළසුම් කර ඇති බවත්, මෙම උදා ගම්මාන 20,000 ඉලක්කය කරා යන්නේ කෙසේද? උදා ගම්මාන වැඩසටහන හොඳද ? නරකද ? යන වග රටේ ජනතාව විසින් තීරණය කළ යුතු බවත් ප්‍රකාශ කළේය. ‍සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, බඳගිරිය, තම්මැන්නාව ප්‍රදේශයේ ඉදිවූ 'සඳළුගම' උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (27) සහභාගී වෙමින්. 'සැමට සෙවණ' යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 160 වන ආදර්ශ ගම්මානය මෙය වේ.  නිවාස 46කින් සමන්විත  'සඳළුගම' උදාගම්මානය අංග සම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 388කි. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් මෙය සමන්විත වේ. 'සඳළුගම' ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 46 දෙනාට නිවාස හිමිකම් පත්‍ර හා රුපියල් ලක්ෂ 230ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 46ක හිමිකම ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 358කට රුපියල් ලක්ෂ 716ක් වටිනා ‘විසිරි නිවාස ණය’, පවුල් 25කට රුපියල් ලක්ෂ 50ක් වටිනා ‘සොඳුරු පියස නිවාස ණය’, ‘ශිල්ප සවිය’ වැඩසටහන යටතේ ශිල්පීන් 50කට රුපියල් ලක්ෂ 25ක් වටිනා වෘත්තීය උපකරණ කට්ටල, ප්‍රාදේශීය කලාකරුවන් තිදෙනෙකුට රුපියල් 30,000ක් වටිනා වෛද්‍ය ආධාර, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 105 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ප්‍රදානය කිරීම හා නිවාස සමිතියට පුටු ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි. මෙහිදී වකුගඩු වෛද්‍ය සායනයක් සහ දේශීය වෛද්‍ය සායනයක්ද පැවැත්විණි. තංගල්ල බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යබට කණ්ඩායමේ නිළ ඇඳුම් සඳහා අමාත්‍යවරයාගේ පෞද්ගලික දන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 4ක මුදලක් පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු කෙරිණි.