ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක්

 ඡායාරූපය:

ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක්

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවේ එකඟත්වය පළ කර තිබේ.

පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (17) පෙරවරුවේ පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර, එහිදී එහි සභාපති තකෙහිකෝ නාකා ඕ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවය පළ කෙරිණි. මෙයින් ඇමරිකන් ඩොලර් මිලියන 300ක ණය ආධාරයක් ශ‍්‍රී ලංකාවට සැපයීමට එකඟතාවය පළ වී ඇත්තේ කොළඹ වරායට පිවිසීම සඳහා කුළුණු සහිත මහාමාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහායි. ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු උප කලාපය සඳහා ආර්ථික සහයෝගය සැපයීමේ ප‍්‍රතිපත්ති රාමුව තුළ එම එකඟතාවය පළ වී තිබේ.

එමෙන්ම විද්‍යා තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 145ක මුදලක් ලබාදීමට එකඟතාවය පළ කෙරිණි. නගර සංවර්ධන ව්‍යාපෘතිවල ශක්‍යතා අධ්‍යයනය වෙනුවෙන් තාක්ෂණික ආධාර සැපයීමේ යෝජනා ක‍්‍රමයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් ලබාදීමටද එකඟතාවය පළ වී තිබේ. මෙම එකඟතාවයන්ට අදාළ ගිවිසුම්වලට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකා ඕ මහතා අතර අත්සන් තැබීමද මෙහිදී  සිදු විය.

මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද ශ‍්‍රී ලංකාව ප‍්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී සිටින බවයි. දුගී බව තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම එම අභියෝග බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ප‍්‍රමුඛ සහයක් අපේක්ෂා කරන බවද කියා සිටියේය. මෙරටට නීති විරෝධි මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට රේගුව සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය සහ විශේෂඥ තාක්ෂණ දැනුම ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන බව  ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා සඳහන් කළේය. අද ශ‍්‍රී ලංකාව නියඟය සහ ගංවතුර යන දෙකෙන්ම පීඩාවට පත්වන අතර ඊට මුහුණදීම සඳහා වඩා විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුව ඇති බවත් ඒ අනුව දේශගුණික හා කාලගුණික විපර්යාසවලින් ශ‍්‍රී ලංකාවට වන හානිය අවම කර ගැනීමේ ව්‍යාපෘති සඳහා සහය දැක්වීමටද ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා එකඟතාවය පළ කළේය.

තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළද මෙහිදී ජනාධිපතිවරයා පැහැදිළි කළ අතර රට තුළ වඩා යහපත් ආර්ථිකයක් ගොඩනැංවීම වෙනුවෙන් එය අත්‍යවශ්‍ය කටුයුත්තක් බවද සඳහන් කළේය. එහිදී ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා සඳහන් කළේ අපේක්ෂිත ඉලක්ක මුළුමනින්ම සම්පූර්ණ නොවුණත් අද ශ‍්‍රී ලංකාවට හොඳ ආර්ථික වර්ධන වේගයක් අත්කර ගැනීමට එම වැඩපිළිවෙළ තුළින් හැකියාව ලැබී තිබෙන බවයි. බලශක්ති සංරක්ෂණය, කෘෂිකර්ම, යටිතල පහසුකම්, කාලගුණික සහ පරිසර, වන සංරක්ෂණ ආදි විවිධ ක්ෂේත‍්‍රවලින් මේ වන විට ආසියානු සංවර්ධන බැංකුව ශ‍්‍රී ලංකාවට සහය ලබාදෙමින් සිටින අතර එම සහය අඛණ්ඩව ඉදිරියට ලබාදීමට කටයුතු කරන බව  සභාපතිවරයා සඳහන් කළේය. එමෙන්ම වාරිමාර්ග, මහාමාර්ග සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත‍්‍රයේ නව ව්‍යාපෘති සඳහා ඉදිරියේදී සහය දැක්වීමට අපේක්ෂා කරන බවද කියා සිටියේය. කුඩා හා මධ්‍ය පරිමාණ කාෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම මගින් මූල්‍ය කළමනාකරණය ඇති කර ගැනීමේ හැකියාව මෙහිදී පෙන්වා දුන් ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා ඒ වෙනුවෙන් විශේෂ සහයක් ලබාදීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

එමෙන්ම අද ශ‍්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ ලබා ඇති ප‍්‍රගතිය ඇගැයීමට ලක් කළ සභාපතිවරයා ශ‍්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති පිළිබඳවද ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමු කරන බව සඳහන් කළේය. පරිසර සංරක්ෂණය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සභාපතිවරයා දැනුවත් කළ ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාවේ වන ඝනත්වය සියයට 28‍ - 32‍ දක්වා වර්ධනය කර ගැනීම අපේක්ෂාව බවත්, ඒ පිළිබඳ තමන් පරිසර අමාත්‍යවරයා ලෙස පැරිස් සමුළුවේදීද කථා කළ බවත් සඳහන් කළ අතර ඒ පිළිබඳවද ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයාගේ අවධානය යොමු කළේය. ශ‍්‍රී ලංකාවේ බෝග වගාවට සතුන්ගෙන් සිදුවන හානිය වළක්වා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාවය පිළිබඳවද ජනාධිපතිවරයා සභාපතිවරයා සමඟ සාකච්ඡා කළේය.