පාසල් අවට ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය ජාවාරමට හිස එසවීමට ඉඩ නොතබන ලෙස ජනපතිගෙන් පොලිසියට උපදෙස්

 ඡායාරූපය:

පාසල් අවට ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය ජාවාරමට හිස එසවීමට ඉඩ නොතබන ලෙස ජනපතිගෙන් පොලිසියට උපදෙස්

පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු කෙරෙන විවිධ විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම මුලිනුපුටා දැමීමේ විධිමත් වැඩපිළිවෙළක් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

ඒ සඳහා අවශ්‍ය නීතිද කඩිනමින් සංශෝධනය කර ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට දැනුම් දුන්නේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබා දුන්නේ මත්ද්‍රව්‍ය පාලනය සහ අවම කිරීම සම්බන්ධයෙන් ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීය. පාසල් අවට සිදුවන විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සිසුන් ඊට ඇබ්බැහිවීම පිළිබඳ විවිධ තොරතුරු තමා වෙත ලැබී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙම ව්‍යසනයට හිස එසවීමට ඉඩ නොතබන ලෙසද පොලීසිය වෙත උපදෙස් දුන්නේය. නීතිවිරෝධි මත්ද්‍රව්‍ය පාලනය උදෙසා රජය මේ වන පියවර රැසක් ගෙන තිබෙන අතර වැටලීම්වලට අදාළ වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් අදාළ නීති පනත් සංශෝධන කටයුතුද මේ වන විට සිදු වෙමින් පවතී. එම සියලු නීති සංශෝධන කඩිනමින් සිදුකර, අදාළ බලතල පවරාදීම් කඩිනම් කරන ලෙසද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ට උපදෙස් දුන්නේය.  එමෙන්ම මත්ද්‍රව්‍යවලට අදාළ විමර්ශන කටයුතුවලදී අනෙකුත් ආයතනවල සහය ලබා ගැනීම, බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා ගෙන ඇති පියවර ඇතුළු කරුණු පිළිබඳවද සාකච්ඡාවට ලක් කෙරිණි.

මාතෘකා