37දෙනෙකු සමඟ යානය විනාශ කිරීම වරද පිළිගත් දෙදෙනාට වසර 185ක සිර දඬුවම්

37දෙනෙකු සමඟ යානය විනාශ කිරීම වරද පිළිගත් දෙදෙනාට වසර 185ක සිර දඬුවම්

එල්ටීටීඊ සංවිධානයේ මිසයිල බළකායේ හිටපු ප්‍රබලයින් දෙදෙනෙකුට වසර 185ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් උතුරුමැද පළාත් මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඊයේ (10) නියම කළේය.

2000 වසරේ මාර්තු මස 30 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සැඟවී සිටිමින් පලාලි ගුවන් හමුදා කඳවුරේ සිට රත්මලාන ගුවන් හමුදා කඳවුර දක්වා යුද, ගුවන්, නාවික හා පොලිස් නිලධාරීන් ඇතුළු 37 දෙනෙකු ගමන් කළ ඇන්ටනෝ 32 වර්ගයේ මගී ගුවන් යානයකට රුසියාවේ නිෂ්පාදිත අධි බලැති ස්ටෙලා වර්ගයේ මිසයිල ප්‍රහාරයක් එල්ල කර, බිම හෙළා විනාශ කළ බවට ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කොට තිබිණි.

මෙසේ සිර දඬුවම් නියම කෙරුණේ එල්ටීටීඊ සංවිධානයේ මිසයිල බලකායේ හිටපු ප්‍රබල සාමාජිකයන් දෙදෙනෙකු වූ යාපනයේ පදිංචි ඉරාසතුරෙයි ජෙගන් නොහොත් පුලවන් සහ යාපනය, පිරිඩ්ඩි දකුණ, නිර්වේලී ලිපිනයේ පදිංචි නල්ලාම් සිවලිංගම් නොහොත් සින්නතිලකන් විත්තිකරුවන්ටය.

නීතිපතිවරයා අධි චෝදනා 37ක් යටතේ අනුරාධපුර මහාධිකරණය හමුවේ ගොනු කළ සියලු චෝදනාවන්ට වැරදිකරුවන් අධිකරණය හමුවේ වරද පිළි ගත් අතර එක් චෝදනාවකට වසර පහ බැගින් චෝදනා 37 සඳහා දඬුවම් සියල්ල එකවර (වසර පහක්) ක්‍රියාත්මක කර ගෙවී යන ලෙසට බරපතළ වැඩ සහිත සිර දඬුවම් කෙරුණි.

ගුවනේදී ගිනි ගත් යානය තලාව, වීරවැව ප්‍රදේශයට කඩා වැටී සම්පූර්ණයෙන්ම විනාශ වී තිබූ අතර යානය පදවමින් සිටි රුසියානු ගුවන් නියමුවා ඇතුළු කාර්ය මණ්ඩලය සමග යුද හමුදා ලුතිනන්වරුන් වන රෝහණ රුවන් අමරසේකර, උදිත් සඳුන් ජයතිලක, දිමුතු ආසිරි සහ ආනන්ද ෂමින්ද සිල්වා සමග යුද, ගුවන්, නාවික සහ පොලිස් ඇතුළු ආරක්‍ෂක අංශ සාමාජිකයන් 32 දෙනෙකු මරණයට පත් විය.

විත්තිකරුවන් දෙදෙනා වසර අටකට ආසන්න කාලයක් අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර ඔවුන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කාල සීමාව සම්බන්ධයෙන්ද සලකා බලමින් විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහිව සිර දඬුවම් නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ සුදර්ශන ද සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් රජයෙන් පත් කළ නීතිඥ විනෝදී සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.

[අනුරාධපුර මධ්‍යම විශේෂ]

මාතෘකා