වසරකට දෙදාහකට ලාදුරු

 ඡායාරූපය:

වසරකට දෙදාහකට ලාදුරු

ගෙවුණු වසර කිහිපයේ ශ්‍රී ලංකාව තුළ වසරකට දෙදාහක පමණ පිරිසක් නොදැනුවත් බව නිසා ලාදුරු රෝගයට ගොදුරු වී ඇති බවත් මයිකොබැක්ටීරියම් ලෙප්රේ නම් බැක්ටීරියාවෙන් ඇති වන මෙම රෝගය බෝ වන්නේ රෝගියාගේ ප්‍රාශ්වාස වාතය හා කෙළ බිඳිතිවලින් බැවින් ජනතාව දැනුවත් කිරීම හරහා මෙම තත්ත්වය පාලනය කළ හැකි බවත් රත්නපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා පැවසීය.

පසුගියදා (14) කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ලාදුරු රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

සෑම වසරකම ශ්‍රී ලංකාව තුළ මෙම රෝගයට අලුතින් දෙදහසක පමණ පිරිසක් එකතු වන අතර ලාදුරු රෝගීන් වැඩි වශයෙන්ම වාර්තා වන්නේ පිළිවෙළින් කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර දිස්ත්‍රික්කවලින් වන අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය අනුව වැඩිම පිරිස රෝගයට ගොදුරු වී ඇත්තේ කුරුවිට සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයෙන් බවත් ශ්‍රී ලංකාව තුළ 2013දී 2031ක්, 2014දී 2281ක්, 2015දී 2098ක්, 2016දී 1973ක් හා 2017දී 1993ක් මෙම රෝගයට අලුතින් ගොදුරු වී ඇති බවත් වෛද්‍යවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් වෛද්‍ය ලක්මාල් කෝණාර මහතා මෙසේද පැවසීය.

"බොහෝ විට ඔවුන් එම රෝගයට ගොදුරු වී ඇත්තේ රෝගය බෝ වන ආකාරය පිළිබඳ නිසි වැටහීමක් නොමැතිකම නිසයි. මයිකොබැක්ටීරියම් ලෙප්රේ නම් බැක්ටීරියාවෙනුයි මෙම රෝගය ඇති වෙන්නේ. රෝගය වැළඳී ඇති බවට යම් සැකයක් ඇත්නම් වහාම ළඟම පිහිටි රජයේ රෝහලේ චර්ම රෝග සායනයට පැමිණ රෝග පරීක්ෂාවක් කර නොමිලේ ප්‍රතිකාර ලබා ගත හැකියි. මෙහි රෝග ලක්ෂණ ලෙස රෝගියා තුළ හැඟීම් දැනීම් නොමැති ළා රතු පාට ලප මේ වන විට හඳුනාගෙන තිබෙනවා. ලාදුරු රෝග වර්ග දෙකක් තිබෙන අතර එක් රෝගයක් සඳහා මාස 6ක්ද අනෙක් රෝගය සඳහා වසරක්ද නොකඩවා ප්‍රතිකාර ගැනීමෙන් මෙම රෝගය නිට්ටාවට සුව කරගත හැකියි. වෛද්‍ය උපදෙස්වලින් තොරව ප්‍රතිකාර නතර කළහොත් මෙය නැවත මතු වන නිසා නිසි ලෙස ප්‍රතිකාර ගත යුතුයි.

රෝගය ඉක්මනින් හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් ඇස් අන්ධ වීම, අතපය කොරවීම, සුව නොවන තුවාල ඇති වීම, ඇඟිලි ක්ෂයවීම් සිදු විය හැකියි.”

[සුනිල් පියතිලක]

 

මාතෘකා