අතීතය අමතක කර, සංහිඳියාව රැකගෙන අප ඉදිරියට යා යුතුයි

 ඡායාරූපය:

අතීතය අමතක කර, සංහිඳියාව රැකගෙන අප ඉදිරියට යා යුතුයි

අතීතය අමතක කරලා අපි ඉදිරියට යා යුතුයි. ජනතාව කියන්නේ දැන් සංහිඳියාව තිබෙනවා කියලා. ඒ සංහිඳියාව රැකගෙන අපි ඉදිරියට යා යුතුයි. සමහර කාරණා ගැන නඩු තිබෙනවා. එල්ටීටීඊ අයටත් නඩු දාලා තිබෙනවා. මම හිතන්නේ හමුදාවේ සහ පොලිසියේ කොටසකටත් නඩු දාලා තිබෙනවා. මේ සියල්ල සිදු කළේ 2015ට පෙර පැවති ආණ්ඩුවෙන්. එම නඩුවලට සාක්‍ෂි තිබුණ නිසා අපි එම නඩු ඉදිරියට ගෙන ගියා. දිගින් දිගටම නඩු දැමීමෙන් සංහිඳියාවක් හෝ ඉදිරි ගමනක් ඇති වෙන්නේ නෑ. සංහිඳියාවක් ඇති විය යුතුයි. අපි සත්‍ය කතා කරලා, කණගාටුව ප්‍රකාශ කරලා, සමාව අරගෙන බොහෝ වැඩ කටයුතු අවසන් කළ යුතුයි. යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (15) කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

සමහර නිලධාරීන් වෙලාවට තීරණය නොගැනීම පිළිබදව මම කණගාටු වෙනවා. සමහර අය කරුණු දන්නේ නැහැ. යාපනයේ පැවති සංවර්ධන සාකච්ඡාවේදී අදාළ නිලධාරීන් අයිරෝඩ්ස් ගැන දැන සිටියේ නැහැ. පසුව සාගල රත්නායක ඇමතිතුමාට කොළඹට කතා කොට කරුණු විමසීමට සිදුවුණා. පළාත් සභාවට බලය බෙදා දී තිබෙන නිසා මේ ගැන උනන්දු වන ලෙස පළාත් නිලධාරීන්ට මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. පළාත් සභාවට වෙලා මුකුත් නොකර ඉන්නා එපා. පළාත් සභාව මගින් නිසියාකාරව කටයුතු සිදු නොකරන්නේ නම් පළාත් සභාවක් මොකටද? එහෙනම් බලය මහ ආණ්ඩුවට ලබාදෙන්න පුළුවන්. දකුණේ පළාත් සභා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස අපට නිතර ඇවිටිලි කරනවා. අපිට විරුද්ධ පක්ෂයේ මහ ඇමතිවරුන් සිටියත් ඔවුන් ද අපට නොයෙක් ආකාරයෙන් ඇවිටිලි කරනවා. නමුත් අද පළාත් සභාව නිද්‍රාශිලි බවට පත්වෙලා. මෙයයි ඇත්ත තත්වය. කිලිනොච්චිය ප්‍රදේශයේ සිවිල් කටයුතු සඳහා වැඩියෙන්ම වෙහෙස වෙන්නේත්, වැඩ කටයුතු කරන්නේත් හමුදා නිලධාරීන්. ඒ පිළිබද මා දැනුවත් කළේ මේ ප්‍රදේශයේ සිටින ද්‍රවිඩ ජනතාවයි. එම නිසා පළාත් සභාවේ බලතල භාවිතා කර තමන්ගේ ජනතාව වෙනුවෙන් උපරිම ලෙස කටයුතු කරන ලෙස මා ඉල්ලා සිටිනවා. පළාත් සභාවේ කටයුතු කැපවී හොදින් සිදු කළහොත් තව තවත් දියුණු තත්වයකට පත්කිරීම සදහා අපි ප්‍රතිපාදන ලබාදීමට ද සූදානම් බව මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා.

දැන් සිදුකළ යුත්තේ ආණ්ඩුවේ මුදල් වියදම් කිරීමේ මාර්ග සෙවීම පමණක් නොවෙයි. උතුරේ ආර්ථිකය සකස් කර ජනතාවට මුදල් ලබා දිය යුත්තේ කෙසේද කියා සිතිය යුතුයි. යුද්ධයට පෙර හොද ආර්ථිකයක් උතුරේ පැවතුනා. උතුරේ අලූත් ජාත්‍යන්තර ගුවන් තොටුපලක්, කන්කසන්තුරේ හොද වරායක් ඇති කිරීමටත් එමගින් හොඳ අපනයන ආර්ථිකයකුත්, සංචාරක ව්‍යාපාරයේ දියුණුවත්, නවිකරණය වූ කෘෂිකර්මාන්තයකුත් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. වැඩි නිෂ්පාදනයක් ලබාදෙන සත්වයන් යොදා ගනිමින් කිරිපට්ටි පාලනය දියුණු කිරීම සම්බන්ධව මාවෙයි සේනාධිරාජා මන්ත්‍රිතුමා සමග මම සාකච්ඡා කළා. මම ඒ සම්බන්ධයෙන් හැරිසන් ඇමතිතුමා සමඟද කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. අද අපිට උවමනා මේ රට දියුණු කිරීමටයි. උතුරේ ජීවත් වන්නෙත් ශ්‍රී ලාංකිකයන්. හම්බන්තොට ඉන්නෙත් ශ්‍රී ලාංකිකයන්. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. දැන් අපි ජාතික ගීය භාෂා දෙකෙන්ම ගායනා කරනවා. හැබැයි සමහරු කොච්චර අපේ භාෂාවන්ට කැමතිද කියතොත් එස් එම් එස් ඔක්කොම යවන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. කොහොම නමුත් දැන් අපි අතීතය අමතක කොට ඉදිරියට යා යුතුයි. යුද්ධයෙන් වැඩිම විනාශය සිදුවූයේ උතුරු ප්‍රදේශයටයි. උතුරේ සියළු දේ සම්පූර්ණයෙන් විනාශ වුණා. සෑම පැත්තෙන්ම මිනිස් ජීවිත නැති වී මුළු රටම විනාශ වුණා. අහිංසක මිනිස්සුත් මරණයට පත්වුණා. එක්සත් ජාතික පක්ෂයේ අපේ නායකයෙක්, ජනාධිපතිවරයෙක් එමෙන්ම අපේ පක්ෂයේ මහලේකම් තුමාත්, ජනාධිපති අපේක්ෂකයාත්, ලලිත් ඇතුලත්මුදලි මහතාත් මරණයට පත්වුණා. මම නායකයා බවට පත් වුනේ අනෙක් සියළු දෙනාම බෝම්බ ප්‍රහාරවලට ලක්වී මිය ගිය නිසයි. ඒකයි අතීතය.

එම නිසා ද්‍රවිඩ ජනතාව සමඟ මට ගැටුම් ඇති කර ගැනීමට අවශ්‍ය නැහැ. එල්ටීටීඊය සමඟ ගැටුම් ඇතිකරගන්න පුළුවන්. නමුත් දැන් ගැටුම් ඇතිකර ගැනීමට එල්ටීටීඊයෙත් කිසිවෙක් නැහැ. එජාපයේ නායකයින් පමණක් නොවෙයි, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයෝත් එල්ටීටීඊයෙන් ඝාතනය කළා. අමීර්තලිංගම්, යෝගේෂ්වරන්, සිද්ධාර්ථන් මන්ත්‍රීතුමන්ගේ පියා ධර්මලිංගම් සහ පක්ෂයේ බොහෝ දෙනෙක් ඝාතනයට ලක්වුණා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය බෝම්බෙන් නූලෙන් බේරුණා. මාගේ මිත්‍ර සී.වි ගුණරත්නත් ඔහුගේ භාර්යාවත් බෝම්බ ප්‍රහාරයකින් මිය ගියා. අපි සියලු දෙනාම යුද්ධයෙන් දුක්විදලා තිබෙනවා.

අවුරුදු 10 කට පෙර උතුරේ සටන් කළේ මේ හමුදාවයි. අද මෙතැන සිටින රජයේ සේවකයන්ට වඩා හොඳින් වැඩ කරන්නෙත් මේ හමුදාවයි. අවුරුදු 10 කින් මෙම ප්‍රශ්න බොහෝ දුරට විසඳේවී. තමන්ගේ කණ්ඩායමට මොකද වුනේ කියලා සත්‍ය දැනගැනීමට ද අවශ්‍යයි. නමුත් සමාව දීමත් කළ යුතුයි. අපි එය එසේ කර සංහිදියාවට යමු. අපිට මේ රට හදන්නට තිබෙනවා. හැමදාම ණය වෙලා සිටින්න බැහැ. අපිට උතුර හදන්නට තිබෙනවා. එය කඩා වැටෙන්න දෙන්නට බැහැ. අප අතර සංහිදියාව ඇතිවිය යුතුයි. දැන් එය ඇති වී තිබෙනවා. අපි බය නැතුව මේ ප්‍රශ්නවලට මුහුණ දී ඒවා අවසන් කර ඒ ගමන යා යුතුයි. දෙමළ, සිංහල, මුස්ලිම් සෑම දෙනාම මෙතනට අද එකතු වී සිටිනවා. ඉරණමඩු වී අස්වැන්නෙන් සහල් ලබාගෙන කෑමට ගන්නේ බොහොමයක් සිංහල ජනතාවයි. අවශ්‍ය පමණට වඩා වී නිෂ්පාදනය වීමෙන් වී මිළ අඩු වූ විට සිංහල,දෙමළ මෙන්ම මුස්ලිම් ගොවීන්ටත් ඉන් බලපෑමක් ඇතිවෙනවා. සාමකාමීව ප්‍රශ්න විසඳාගෙන අප ඉදිරියට යා යුතුයි. මෙම ස්ථානයට පැමිණීම ගැන මම හුඟක් සතුටු වෙනවා. නැවත මාස කිහිපයකින් මෙලෙස ඇමතිවරුන් සමඟ උතුරට පැමිණීමට මම බලාපොරොත්තු වෙනවා