දිව දෙකේ දේශපාලනයක් වත්මන් ආණ්ඩුව සතුව නැති බව ඇමති සජිත් කියයි

 ඡායාරූපය:

දිව දෙකේ දේශපාලනයක් වත්මන් ආණ්ඩුව සතුව නැති බව ඇමති සජිත් කියයි

“ජාති, ආගම්, කුල, මල, පක්ෂ, පාට භේදයෙන් තොරව අප ජනතා සේවාවන් ක්‍රියාත්මක කරනවා. එනමුත් විපක්ෂයේ කණ්ඩායම් අපට චෝදනා කරන අයුරු බොහෝ අවස්ථාවන්වලදී ඔබ දැක ඇති. ඔවුන් ආණ්ඩු බලය ලබා ගත් පසු විපක්ෂයේ සිටියදී ලබා දුන් පොරොන්දු අමතක කර දමා ජාති, ආගම්, කුල, මල, පක්ෂ පාට භේදය මත විනාශකාරී, අන්තවාදී දේශපාලන න්‍යායන් ක්‍රියාත්මක කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ සහ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ වත්මන් ආණ්ඩුව තුළ ජාති වාදය, ආගම් වාදය සහමුලින්ම ඉවත් කර තිබෙනවා. දිව දෙකේ දේශපාලනයක් අප සතුව නැහැ.” යැයි නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ  යළි පිබිදුනු ගම් උදාව’ වැඩසටහන යටතේ දිවයිනේ 159 වන උදා ගම්මානය වන ‘ගයත්‍රිපුරම්’ අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රදේශයේදී අද (17) ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

 

නව නිවාස 3‍5කින් ගයත්‍රිපුරම්’ උදා ගම්මානය සමන්විතයි. ඉඩමක් හා නිවසක් නොමැති පවුල් 35කට මෙම ගම්මානයෙන් නොමිලේ ඉඩම් ලබා දී මෙහි නිවාස ඉදිකර ගැනීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා අප ඉතා සුළු පොළී ණය මුදල් ඔවුන්ට ලබා දුන්නා. ඔවුන් ඊට තම මුදල්ද එක්කර ඉතා අපූරු නිවාස ඉදිකරගෙන තිබෙනවා. මෙම උදා ගම්මානයේ කටයුතු අංග සම්පූර්ණව නිම කිරීම සඳහා රුපියල් ලක්ෂ 316ක පමණ මුදලක් වැය කර තිබෙනවා. පිරිසිදු පානීය නළ ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග පද්ධතියක් ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් ගයත්‍රිපුරම්’ උදා ගම්මානය සමන්විතයි. 

“අද දින මෙම ගම්මානයේ පවුල් 35ට නිවාස අයිතිය මෙන්ම රුපියල් ලක්ෂ 140ක් වටිනා බිම් කොටස් 35ක අයිතිය හිමි වෙනවා. ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 100කට රුපියල් ලක්ෂ 100ක් වටිනා 'විසිරි නිවාස ණය' ලබා දෙනවා. පවුල් 55කට රුපියල් ලක්ෂ 110ක් වටිනා 'සොඳුරු පියස නිවාස ණය' ලබා දෙනවා. ප්‍රදේශයේ සිටින දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 103 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි ලබා දෙනවා. වකුගඩු රෝගීන් 30 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 50 වටිනා නිවාස ආධාර ප්‍රදානය කරනවා, ප්‍රතිලාභීන් 50 දෙනෙකුට රුපියල් ලක්ෂ 25 වටිනා නිවාස ණය සහ ආධාර ලබා දෙනවා, ‘විරු සුමිතුරු’ වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 24 දෙනෙකුට රුපියල් ලක්ෂ 128 වටිනා ආධාර ප්‍රදානය කරනවා. ගයත්‍රිපුරම්’ උදා ගම්මානය ජනතා අයිතියට පත් වීමට සමගාමීව මෙම ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබා දීමට අප කටයුතු කරනවා.  දළ වශයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාව සියයට 44ක්ද, සිංහල ප්‍රජාව සියයට 38ක්ද, දමිළ ප්‍රජාව සියයට 18ක්ද ජීවත් වෙනවා. මා නිවාස අමාත්‍ය ධූරයේ වගකීම භාර ගන්නා විට අම්පාර දිස්ත්‍රික්කය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ එක් කාර්යාලයයි තිබුණේ. කල්මුණේ කාර්යාලය අඩපණ වී තිබුණා. නමුත් අද වන විට සිංහල ප්‍රජාවට අම්පාර ප්‍රදේශයේ කාර්යාලයක්, ඉස්ලාමීය ප්‍රජාවට කල්මුණේ ප්‍රදේශයේ කාර්යාලයක් සහ දමිළ ප්‍රජාවට තිරුක්කෝවිල් ප්‍රදේශයේ කාර්යාලයක් ස්ථාපිත කර තිබෙනවා. ජාති, ආගම්, පක්ෂ, පාට, භේදයෙන් තොරව අපගේ නිවාස සංවර්ධන වැඩසටහන අප රට පුරා ක්‍රියාත්මක කරනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ජීවත් වන සෑම පවුලකගේම ජන ජීවිතය සෞභාග්‍ය සම්පන්න කරන්නට මා පොරොන්දු වනවා.

“අපේ ඉලක්කය වන්නේ 2019 වසරේ සැප්තැම්බර් මස අවසන් වන විට රට තුළ උදා ගම්මාන 2,500ක් ඉදිකිරීමයි. මේ වන විට දිවයින පුරා උදා ගම්මාන 1,687ක පමණ ප්‍රමාණයක ඉදිකිරීම් අප ආරම්භ කර තිබෙනවා. ගම්මාන 2,500 ඉලක්කය වෙත යන්නට තවත් ගම්මාන 813ක් අප ඉදි කළ යුතුයි. මෙම ඉලක්කය ජය ගැනීම අභියෝගාත්මකයි. නමුත් කෙසේ හෝ එම ඉලක්කය ජය ගන්නා බව මා ප්‍රකාශ කරනවා. අපගේ අවසන් ඉලක්කය වන්නේ 2025දී රටේ උදා ගම්මාන 20,000ක් ඉදි කිරීමයි. ඒ අනුව පළමු අදියරේදී උදා ගම්මාන 2,500ක්, දෙවන අදියරේදී උදා ගම්මාන 5,000ක්, තුන්වන අදියරේදී උදා ගම්මාන 10,000ක් සහ සිව්වන අදියරේදී නැවත උදා ගම්මාන 2,500ක් වශයෙන් අප ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව වසර 2025 වන විට මෙරට උදා ගම්මාන 20,000ක් ඉදි කර ‘සැමට සෙවණ’ ලබා දෙන බව බව මා සතුටින් ප්‍රකාශ කරනවා. මෙවැනි වැඩපිළිවෙලක් හා දර්ශනයක් සහිත ඉලක්කගත නිවාස සංවර්ධන වැඩසටහනක් පසුගිය කාලයේ තිබුණේ නැහැ.

“ජාතිය, ආගම, කුලය කුමක් වුවත් සියලු දෙනා එකට එකතුවීම තුළ රට, පළාත, දිස්ත්‍රික්කය, නගරය, ගම ගොඩනඟන වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් රටක ඉදිරි ගමන සාර්ථක වෙනවා. ඒ ආකාරයෙන් ක්‍රියා කළ විට සංවර්ධිත, සාමකාමී, සෞභාග්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් බිහි කිරීමට හැකි වෙනවා. අද රට විනාශ කරන අන්තවාදී කොට්ඨාශ සුපුරුදු පරිදි රට ගිණි තබනමින් ජාති, ආගම් වාදය අවුලවමින් සිටිනවා. ජාතිය, ආගම මත ඔවුන්ගේ ජයග්‍රහණය තිබෙනවා යැයි ඔවුන් සිතනවා. එසේ සිතීම වැරැදියි. යමෙකුගේ ජයග්‍රහණය පදනම් වන්නේ මහජනතාවගේ තෘප්තිමත් භාවය තුළයි. සිංහල, දමිළ, ඉස්ලාම්, බර්ගර්, මැලේ යන සෑම ජන කොට්ඨාශයක්ම “මේ අපේ රටයි, මේ රට සුරැකීම අපගේ යුතුකමයි, සංවර්ධනය කරා යෑමට සියලු දෙනා ඇප කැප විය යුතුයි” යනුවෙන් සිතීමෙන් රට සංවර්ධනය කරා රැගෙන යාමට හැකිවනවා. උතුරු, නැගෙනහිර, දකුණ තිබෙන ජාති වාදය තුළ රට සංවර්ධනය කරන්නට බැහැ. ජාතිවාදය තුළ ජයග්‍රහණය කරන එකම කොට්ඨාශය රටත්, පුරවැසියනුත් නොව දේශපාලඥයින් පමණයි. දේශපාලඥයින්ට ඕනෑ ආකාරයෙන් තැන තැන ඇති කරන අන්තවාදී ගිණි කඳු සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුයි.

මේ ඒකීය ශ්‍රී ලංකාව තුළ අන්තවාදී කොට්ඨාශ විවිධ කතා කියනවා. මේ රට ඒකීය රටක් නොවෙයි කියා සමහරුන් පවසනවා. තවත් පිරිසක් මේ රට ෆෙඩරල් රටක් කියනවා. මේ රට ෆෙඩරල් ශ්‍රී ලංකාවක් නොවන බව පැහැදිලියි. මේ රට ඒකීය ශ්‍රී ලංකාවක්. මේ ඒකීය ශ්‍රී ලංකාව තුළ සෑම ජාතියක්ම, ආගමක්ම ශක්තිමත් වන්නට ඕනෑ. බුද්ධාගමට ලබා දෙන මුල් තැන තුළ අනෙකුත් ආගම් සුරක්ෂා කිරීමට අප ඇප කැප වන්නට ඕනෑ. ‘සියලු සත්වයෝ නිඳුක් වෙත්වා ! නීරෝගී වෙත්වා !’ කියා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සිංහල බෞද්ධයින් පමණක් නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා ! කියා උන්වහන්සේ කිසිවිටක දේශනා කළේ නැහැ. නමුත් සමහර අන්තවාදී කොට්ඨාශ ජනපති මැදුරට, අරලියගහ මැදුරට, පාර්ලිමේන්තුවට යෑමට පටු දේශපාලන ක්‍රියාමාර්ගය ඔස්සේ අන්තවාදී ඉලක්ක කරා යෑමට උත්සාහ කරනවා. මෙය උතුරේත්, නැගෙනහිරත්, දකුණේත් සිදුවනවා. සත්‍යය මෙයයි. රටට අවශ්‍ය වන්නේ ජාති, ආගම් වාදය නොව, සංවර්ධිත, ජනතා ගැටලුවලට විසඳුම් ලබා දෙන සෞභාග්‍ය සම්පන්න ජන ජිවිතයක් නිර්මාණය කරන සමගි සම්පන්න මාතෘ භූමියක්. කවුරුන් අන්තවාදය, ජාතිවාදය ක්‍රියාත්මක කළත් සෞභාග්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් වෙනුවෙන් දිංවගත රණසිංහ ප්‍රේමදාසයන්ගේ නාමයෙන් එතුමන්ගේ පුත් සජිත් ප්‍රේමදාස ඇප කැප වන බන මා සතුටින් ප්‍රකාශ කරනවා.

 


ජනප්‍රිය ලිපි