ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගකිව යුතු බව සුව ඇමැති කියයි

 ඡායාරූපය:

ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගකිව යුතු බව සුව ඇමැති කියයි

දින 53ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් මතු වූ ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද වගකිව යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. චීන සහන ණය ආධාර යටතේ දිවයිනේ තෝරා ගත් රෝහල් 13ක් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ පොතුවිල් මූලික රෝහලේ ඉදිකෙරෙන මහල් 03කින් යුත් වාට්ටු සංකීර්ණය සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට ඊයේ (10) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.

සෞඛ්‍ය සේවාවන් දීප ව්‍යාප්ත කර තිබෙනවා. නවීන උපකරණ රෝහල්වලට ලබා දෙනවා. මෙමගින් අපි බලාපොරොත්තු වන්නේ කොළඹ තිබෙන ප්‍රධාන රෝහල්වලට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාව අඩු කිරීමටයි. සාමාන්‍ය ජනතාවගේ මුදල් පසුම්බියෙන් මුදල් වියදම් නොකර ඉතිරිකර ගැනීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ජනතා හිතසුව පිණිස මම දියත් කරනවා. දින 53ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ඖෂධ හිඟයක් රෝහල්වල මතු වුණා. එම දිනවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපදෙස් මත තමයි අමාත්‍යාංශයේ වැඩකටයුතු සිදු වුණේ. එම දිනවල හිටපු අමාත්‍යවරයාද වටකරගෙන සිටියේ එම සංගමයේ නිලධාරීන්. අන්තිමට ඇමැතිවරයාටත් මෙම සංගමය එපා වුණා. වසර 03කට අධික කාලයක් හිඟයකින් තොරව ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙල විනාශ කෙරුණා. අමාත්‍යාංශයේ අරක්ගෙන සිටි වෛද්‍ය සංගමයේ නිලධාරීන්ටවත් ඖෂධ හිඟයක් ඇතිවන බව පෙනුණේ නැහැ. මම රෝගී ජනතාවට මෙවැනි අපරාධයක් කළේ නැහැ. ඖෂධ හිඟයක් ඇති කළ අපරාධයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද වගකිව යුතුයි. මම සෞඛ්‍ය අමාත්‍යධූරයට යළි පත් වූ පසු ඖෂධ හිඟයට අවශ්‍ය විසඳුම් ලබාදුන්නා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ ගුවන් මගින් කොළඹට ගෙනවිත් බෙදාහැරියා. මෙම ඖෂධ හිඟය මාර්තු මස අවසන් වන විට නිරාකරණය වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා. රෝහල් සංවර්ධනය කිරීම සදහා විදේශීය ආයෝජකයින් රැසක් ඉදිරිපත්ව සිටිනවා. ඔවුන්ගෙන් කොමිස් මුදල් ලබානොගෙන අවශ්‍ය පහසුකම් ලබාදෙනවා. යුද්ධයෙන් පීඩාවට පත් වූ උතුරු නැගෙනහිර රෝහල් සංවර්ධනය කිරීමට මම පියවර ගෙන තිබෙනවා.