හොර මත්පැන්වල වගකීම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ජනපතිගෙන් නව චක්‍රලේඛයක්

 ඡායාරූපය:

හොර මත්පැන්වල වගකීම පොලිස් ස්ථානාධිපතිවරුන්ට ජනපතිගෙන් නව චක්‍රලේඛයක්

පොලිස් දෙපාර්තමේන්තුවේ සුවිශේෂී පරිවර්තනයක් ඉදිරි මාස කිහිපය තුළදී කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

වර්තමානයේ ප්‍රබල සමාජ අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩලීම වෙනුවෙන් තමන් උර දී සිටින පුළුල් වැඩපිළිවෙළ පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි ශක්තිමත් කළ අතර ඒ අනුව ඉදිරියේදී අදාළ වෙනස්කම් සිදු කිරීමට නියමිත බව ජනාධිපතිවරයා පැවසුවේ පොළොන්නරුවේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් ජනහමුව පෙරේදා (09) අමතමිනි.

මීට අමතරව ග්‍රාමීය දරිද්‍රතාව ඉහළ යෑමට මූලික හේතුවක් වී ඇති නීතිවිරෝධී මත්පැන් සහමුලින් තුරන් කිරීම සඳහා වන වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාවට නංවන බව ජනාධිපතිවරයා 'පිබිදෙමු පොළොන්නරුව' ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ වැඩසටහන අමතමින් එදින (09) පස්වරුවේ පැවසීය.

සිය බල ප්‍රදේශය තුළ නීතිවිරෝධී මත්පැන් තිබෙන බව දන්නේ නම් පොලිස් ස්ථානාධිපතිවරයා සහ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා එහි සම්පූර්ණ වගකීම භාරගත යුතු බවට නව චක්‍රලේඛයක් ලබන සතියේදී නිකුත් කරන බවද එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය.

[ශිවන්ති ප්‍රනාන්දු]

මාතෘකා