පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කොමිසමේ සාමාජිකයෝ ජනපති හමුවෙති

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කොමිසමේ සාමාජිකයෝ ජනපති හමුවෙති

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා, පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කරනු පිණිස පත් කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාමාජිකයන් ඊයේ (02) සවස ජනාධිපති කාර්යාලයේදී හමු වී අදහස් හුවමාරු කර ගත්තේය.

පරීක්‍ෂණ කොමිසමේ කාර්යභාරය හා සංයුතිය පැහැදිලි කළ කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජානක ද සිල්වා මහතා මෙතෙක් කළ විමර්ශන ගැන ලුහුඬින් සඳහන් කළේය. ප්‍රහාරයන් සිදු වන බවට කල්තබා ලැබුණු තොරතුරු අදාළ බලධාරීන් බරපතළ ලෙස සැලකිල්ලට ගෙන නැතැයි සභාපතිවරයා කීය.

 

මේ බව වසන් කිරීම පිණිස ඇතැම් නිලධාරීන් ව්‍යාජ ලේඛන සකසා ඇති බවට සැකයක් මතු වන බවද විනිසුරුවරයා පැවසීය.

ප්‍රහාරයේ සුලමුල නිවැරදිව හඳුනාගෙන වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති රාජපක්‍ෂ මහතා, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ අභිලාෂයද එය බව පැවසුවේය. මෙහිදී තව දුරටත් අදහස් පළ කළ ජනාධිපතිවරයා, "මා ආරක්‍ෂක ලේකම්වරයාව සිටියදී ආරක්‍ෂක මණ්ඩලය නිතිපතා රැස් වුණා. බුද්ධි අංශ නිලධාරීන් සමඟ ආරක්‍ෂක තත්ත්වය ගැන නිරන්තරයෙන් සාකච්ඡා කළා. ආරක්‍ෂාවට තර්ජනයක් වන තොරතුරක් ලැබුණු සැණින් නොපමාව අවශ්‍ය පියවර ගත්තා. පිටරටවලින් පැමිණ අන්තවාදී අදහස් ප්‍රචලිත කරමින් සිටි දේශකයන් 160ක් පිටුවහල් කළේ ඒ අනුවයි" යනුවෙන් පවසා ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පසුගිය පාලනසමයේදී ජාතික ආරක්‍ෂාව පිළිබඳව ලිහිල් ආකල්පයකින් ක්‍රියා කිරීම නිසා බුද්ධි අංශ යාන්ත්‍රණය බිඳ වැටුණු බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාමීය අන්තවාදය ප්‍රචලිත කිරීම නතර කිරීමට නොහැකි වූ බවද පවසා ඇත. ප්‍රහාරය පිළිබඳ සියලු තොරතුරු අනාවරණය කරගන්නා අතර මෙවැනි ප්‍රහාර නැවත සිදු නොවනු පිණිස ගත යුතු පියවර නිර්දේශ කිරීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කර තිබේ.

ආරක්‍ෂක යාන්ත්‍රණය බිඳ වැටීමට වගකිව යුත්තේ කවුරුන්ද යන්න හෙළි කරගත යුතු යැයි ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්‍ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු සහ අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ඩබ්.එම්.එම්. අධිකාරි යන මහත්වරු කොමිසමේ සෙසු සාමාජිකයෝ වෙති.

News Order: 
8
මාතෘකා