ගාලු වරායේ මහා පරිමාණ ඩෙංගු තවානක්

ගාලු වරායේ මහා පරිමාණ ඩෙංගු තවානක්

ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේ නඩු භණ්ඩ ලෙස අතහැර දමා ඇති බෝට්ටු සහ හිමිකරුවන් නොමැතිව අබලන්ව අතහැර දමා ඇති බෝට්ටු තුළ ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

අවස්ථා කිහිපයකදීම ගාල්ල දිස්ත්‍රික් ඩෙංගු කමිටු රැස්වීම්වලදී මෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදීද මේ සම්බන්ධයෙන් නිතර කතා බහට ලක් වුවත් මේ වන තෙක් එම පරිශ්‍රය පිරිසිදු කිරීමට කිසිදු බලධාරියෙකු කටයුතු කර නොමැත. මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මෙන්ම වෛද්‍යවරුන්ද පවසන්නේ එහි තිබෙන අතහැර දමන ලද බොට්ටුවල සහ ෆයිබර් කැබලිවල මදුරු කීටයින් දහස් ගණනක් සිටින බවයි. මේ තත්ත්වය නිසා ධීවර වරාය පරිශ්‍රය පමණක් නොව අසල තිබෙන නාවික හමුදා කඳවුරටද මෙය තර්ජනයක් බවත් සාකච්ඡාවට ලක්ව තිබේ.

මෙම කමිටුවලදී තීරණය කර ඇත්තේ මෙම ෆයිබර් කොටස් ඉවත් කිරීමට වුවත් කාලයත් තිස්සේ එසේ එකතු වූ ෆයිබර් කොටස් තවමත් ගාලු වරාය ධීවර සංස්ථා පරිශ්‍රයේ දක්නට ලැබේ. මේ පිළිබඳව ගාල්ල ධීවර වරාය කළමනාකරු ඩී. එස්. දිසානායක මහතාගෙන් විමසූ විට කියා සිටියේ සමහර බෝට්ටු අධිකරණයේ පවතින නඩුවල නඩු භාණ්ඩ ලෙස දීර්ග කාලයක් රඳවා තබා තිබෙන බවයි. පසුගිය කාලයේ ෆයිබර් ඉවත් කිරීමට ටෙන්ඩර කැඳවු අතර එහිදී ෆයිබර් කියුබ් 210ක් ඉවත් කිරීමට ටෙන්ඩර් ලබාගත් බවත් එහෙත් මුදල් ගෙවීමේදී ඇති වූ ගැටලුවක් නිසා සම්පූර්ණයෙන්ම එම ප්‍රමාණය ඉවත් කිරීමට නොහැකිවූ බවත් කොටසක් පමණක් ඉවත් කිරීම නිසා තවදුරටත් ඒවා රැඳී තිබෙන බවත් වරාය කළමනාකරු කියා සිටියේය.

[ෆර්හාන් නිසාම්දින්]

 

News Order: 
6
මාතෘකා