ලේක්හවුස් සභාපති වෘත්තීයවේදියෙක් දැන් පාඨක පිරිසත් වැඩිවෙලා

 ඇමැති එරාන් වික්‍රමරත්න ඡායාරූපය:
. ඇමැති එරාන් වික්‍රමරත්න

ලේක්හවුස් සභාපති වෘත්තීයවේදියෙක් දැන් පාඨක පිරිසත් වැඩිවෙලා

ඉහළ තනතුරු සඳහා නෑදෑයන්, මිත්‍රයන් පත් කිරීමෙන් රාජ්‍ය ආයතන දියුණු කළ‍ නොහැකි බවත් වත්මන් ආණ්ඩුව වෘත්තීයවේදීන් එම තනතුරු සඳහා පත්කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රීලන්කන් ගුවන් සමාගමට පසුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයාගේ ඥාතීන් පත්කිරීමෙන් සිදුවූ පාඩුව ලොවම දන්නා බවත් මේ ‍වන විට ජනාධිපතිවරයා ජනාධිපති කොමිසමක් ඒ සඳහා පත්කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

රජයේ හා පෞද්ගලික අංශයේ සේවක මහත්ම මහත්මීන්ට ජීවන වියදමට සරිලන ආකාරයට වැටුප් වැඩිවීමක් හෝ ජීවන වියදම් දීමනාවක් ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ඉදිරිපත් කළ පාර්ලිමේන්තුව කල්තැබීමේ යෝජනාවට එක්වෙමින් වික්‍රමරත්න මහතා එසේ පැවසීය.

රාජ්‍ය හෝ රාජ්‍ය ව්‍යාපාරවල නියැළි සේවකයන්ට යම් වැටුප් වැඩි කිරීමක් ලබා දීමේ යෝජනාවට මුවාවී එම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට මඩ ගැසීමට ඉඩදිය නොහැකි බව පැවසූ ඇමතිවරයා ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කළේය. ලේක්හවුස් සභාපතිවරයා ‘රැස’ නමින් මඩ පත්තරයක් මුද්‍රණය කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිළමේ මහතා කළ ප්‍රකාශය බැහැර කළ රාජ්‍ය ඇමතිවරයා එසේ අදාළ නිලධාරීන් නොමැති අවස්ථාවක මඩ ගැසීම සුදුසු නොවන බවත් එසේ උත්තර නොදීමට නොහැකි අවස්ථාවක මඩ ගසා මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවෙන් බැහැර යෑම අනුමත නොකරන බවත් කියා සිටියේය.

ලේක්හවුස් ආයතනයට වෘත්තීයවේදියකු සභාපති ලෙස පත්කර ඇති බවත් වර්තමානයේ ලේක්හවුස් පාඨක පිරිස තවත් වැඩිව ඇති බවත් ඇමතිවරයා පැවසීය.

මාතෘකා