කොළඹ බෝට්ටු සේවාව අදින් ඇරඹේ

 ඡායාරූපය:

කොළඹ බෝට්ටු සේවාව අදින් ඇරඹේ

කොළඹ නගරයේ පවතින උග්‍ර රථවාහන තදබදයට විසඳුමක් ලෙස යුනියන් පෙදෙසේ සිට කොළඹ කොටුව දක්වා කි‍්‍රයාත්මක බේරේවැව මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය අද (22) උදෑසන ආරම්භ කෙරේ.

කොළඹ කොටුව මැකලම් ගේට්ටුව අසළ බෝට්ටු අංගනයේදී (ලේක් හවුස් ඉදිරිපිට) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් එය විවෘත කෙරේ. නගරය පුරා ඇති අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳව සිදු කරන ලද විද්‍යාත්මක ශක්‍යතා අධ්‍යනයකින් අනතුරුව මෙම මගී ප‍්‍රවාහන යාත‍්‍රා සේවය කි‍්‍රයාත්මකය. මුල් මාසය තුළ මගී ජනතාවට නොමිලේ මෙම සේවය ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර කෙරෙන්නේ ශ‍්‍රී ලංකා නාවික හමුදාව හා ඒකාබද්ධව මෙම සේවාව ක්‍රියාත්මකය. මෙහිදී නාවික ගමනාගමනයේදී පිළිපැදිය යුතු සියලු ආරක්‍ෂක විධිවිධාන පිළිපැදීම අනිවාර්ය වේ.

බේරේ වැව සහ වැල්ලවත්ත ඇළ කේන්ද්‍ර කරගනිමින් තවත් අදියරක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබෙන අතර ඒ අනුව වැල්ලවත්තේ සිට බත්තරමුල්ලට විනාඩි 40ක කාලයකදී ගමන් කිරීමට හැකියාව ලැබේ. වායු සමීකරණය කළ බෝට්ටු එම සේවාව සඳහා යොදාගැනීමට නියමිතය.  කැළණි ගඟේ මට්ටක්කුලිය සිට හංවැල්ල දක්වාද මගී ප‍්‍රවාහන බෝට්ටු සේවාවක් කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක මහතා පැවසීය.

එසේම මෙම සියලු කොළඹ ජල මාර්ගවල බෝට්ටු සේවාව හා සහ සම්බන්ධව බස් හා දුම්රිය ප්‍රවාහන සේවාවල කාලසටහන් සකස් කිරීමටත් ඉදිරියේ දී කටයුතු කෙරේ. මීට අමතරව කොළඹ බේරේ අවට ඇති ප්‍රධාන හෝටල්වල විදේශ සංචාරකයන් වෙනුවෙන් රාත්‍රියේදී මේ බෝට්ටු සේවය යොදා ගැනීමට නියමිතයි. ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසන පරිදි මේ මුල් ව්‍යාපෘති 3 සඳහා සම්පූර්ණ වියදම රුපියල් මිලියන 100කි. මේ මගින් 500ක පමණ පිරිසකට රැකියා අවස්ථා ලැබෙන අතර කොළඹ ජල මාර්ගවල පිරිසුදුභාවයද ඉහළ යයි‍.