සහල්වල සහතික මිල වැඩි කෙරේ

 ඡායාරූපය:

සහල්වල සහතික මිල වැඩි කෙරේ

මෙවර යල කන්නයේදී නාඩු වී කිලෝවක් සඳහා රු. 43ක් හා සම්බා වී කිලෝවක් සදහා රු. 46ක සහතික මිලක් ලබාදීමට රජය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ 2018 වර්ෂයේදී වගා හානි සිදු වූ ගොවි පවුල් 1046ක් වෙනුවෙන් වගා හානි වන්දි ලෙස රුපියල් ලක්ෂ 280ක මුදලක් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමින් කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. එම උත්සවය මාතලේ හෝටල් පාසැල් ශ්‍රවණාගාරයේදී අද (20) පැවැත්විණි.

උත්සව අවස්ථාව ඇමතූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“පසුගිය කන්නයේදී නාඩු වී කිලෝවක් රුපියල් 38 කට හා සම්බා කිලෝවක් රුපියල් 41කට මිලදි ගනු ලැබුවත් මෙවර ගොවියා සඳහා ඉතා හොඳ මිලක් ලබාදිමට රජය පියවර ගෙන තිබෙනවා. අපි 2017 දී ගොවීන්ට වන්දි ලෙස බිලියන 5.2ක මුදල්ක ලබාදුන්නා. 2018 දී වී අස්වැන්න විශාල ලෙස වැඩි වුණා. අපේ රජය ජනතාවට දුන් පොහොර සහනාධාරය, වගා රක්ෂණ වන්දි හා නියමිත ලෙස ජලය ලබාදීම නිසා ගොවියා රජය කෙරෙහි තැබූ විශ්වාසය නිසයි අස්වනු වැඩි වුණේ.”

පසුගිය වසර 4ක කාලය තුළ විවිධ ප්‍රශ්න ගැටලු අභියෝග මැද ආණ්ඩුව ඉදිරියට ආ බවත් ඒ කුමන අභියෝග තිබුණත් ගොවි ජනතාවට අවශ්‍ය සහන ලබා දීමට රජය කටයුතු කළ බවත් පැවසීය. රටක් ලෙස අද ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමකට පැමිණීමට හැකි වී තිබෙනවා යැයිද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

අස්වැන්නෙන් 30%ත් 40% අතර ප්‍රමාණයක් ප්‍රවාහනයේදී විනාශ වන බවත් ඒ සඳහා විසඳුමක් ලෙස කූඩ මගින් අස්වනු ප්‍රවාහනයට පියවර ගෙන තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය. කූඩ ලක්ෂ 5ක් ඉදිරියේදී ගොවියාට නොමිලේ ලබාදිමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවද සඳහන් කළේය.

මාතෘකා