ඇසළ පෙරහැර සාර්ථකව නිම කළ බවට වූ සංදේශය ජනපතිට පිළිගැන්වීම අදයි

 ඡායාරූපය:

ඇසළ පෙරහැර සාර්ථකව නිම කළ බවට වූ සංදේශය ජනපතිට පිළිගැන්වීම අදයි

මහනුවර ඇසළ පෙරහැර පෞරාණික චාරිත්‍රවලට අනුව සාර්ථකව නිම කළ බව සඳහන් පෙරහැර සංදේශය දියවඩන නිලමේවරයා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමේවරු අද (15) පස්වරුවේ යෙදෙන සුබ මොහොතින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මහනුවර ජනාධිපති මන්දිරයේදී පිළිගැන්වීමට නියමිතය. මහනුවර ඇසළ පෙරහැර දියකැපීමේ මංගල්‍යය ගැටඹේ තොටේදී අද අලුයම සිදුවිය.

දියකැපුම් පෙරහැර සිවු දේවාලයන්හි පෙරහැර සමඟ පිටත්ව දළදා වීදිය, ඩී.එස් සේනානායක වීදිය ඔස්සේ ගෙඩිගේ විහාරයට ගොස් සිරිත් පරිදි දළදා කරඬුව එහි තැන්පත් කිරීම සිදුකළ අතර සිවු දේවාලයන්හි පෙරහැර ආපසු දේවාලවලට පැමිණ දේව පූජා පැවැත්වීමෙන් පසු කටුකැලේ වීදිය දිගේ ගැටඹේ තොටට ගොස් දියකැපීමේ මංගල්‍යය සිදු කෙරුණි. අනතුරුව ඝන දෙවි කෝවිලේ දේවාභරණ තැන්පත් කිරීමද සිදු කෙරිණි. දහවල් පෙරහැර පෙරවරු 11.52ට යෙදෙන සුබ මොහොතින් ඇරඹේ. මහනුවර ඝන දෙවි කෝවිල අභියසින් ආරම්භ වන පෙරහැර දළදා විදීය. ඩී. එස්. සේනානායක විදීය, කන්දේ විදීය ඔස්සේ ඩී. එස්. සේනානායක විදීයේ මංසන්ධියට පැමිණෙයි. එහිදී ශ්‍රී දළදා මාළිගා පෙරහැර හා එක්වන සිව්මහල් දේවාල පෙරහැර ඩී. එස්. සේනානායක විදීය ඔස්සේ ඉදිරියට ගමන් කර පන්සල පාර, දේව විදීය ඔස්සේ රජ වීදියෙන් ඉදිරියට පැමිණ මාළිගා චතුරස්‍රයේ තෙවිටක් ප්‍රදක්ෂිණා කොට සවස 05.07 ට නැගෙනහිර දිශාව බලා මාළිගයට ගෙවැදීමට නියමිතය.


මහනුවර ඇසළ පෙරහැර පෞරාණික චාරිත්‍රවලට අනුව සාර්ථකව නිම කළ බව සඳහන් පෙරහර සංදේශය දියවඩන නිළමේවරයා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිළමේවරු අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත මහනුවර ජනාධිපති මන්දිරයේදී පිළිගැන්වීමට නියමිතය. මෙවර පෙරහැරට සම්බන්ධ වී විශිෂ්ඨ දක්ෂතා දැක්වූ ශිල්පීන්ට මුදල් ත්‍යාග හා සහතික පිරිනැමීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එහිදී සිදුවෙයි.