කාලගුණය අයහපත් - ගංගා 3ක් පිටාර මට්ටමේ

 ඡායාරූපය:

කාලගුණය අයහපත් - ගංගා 3ක් පිටාර මට්ටමේ

කඳුකරයට රතු නිවේදන

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ඊයේ (23) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

නුවරඑළිය, අඹගමුව සහ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ අවට ප්‍රදේශවල ජනතාවට නායයෑම් පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කළේය. පසුගිය පැය 24 තුළ මෙම ප්‍රදේශවල වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පෙළොව ගිලා බැසීම සහ පස් කඳු කඩා වැටීමේ අවදානමක් පවතින බව එහි වැඩිදුරටත් සඳහන් වේ. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පොළොවේ ඉරිතැලීම්, එකවර ශාක ඇලවීම, ගොඩනැගිලිවල බිත්ති මත ඇතිවන පිපුරුම් සහ එකවර ජල උල්පත් මතුවීම් වැනි ලක්ෂණ නිරීක්ෂණය වන්නේ නම් හැකි ඉක්මනින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය හෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කර ජනතාව එම ප්‍රදේශවලින් වහා ඉවත් විය යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ගාල්ල දිස්ත්‍රික්කයට සහ ගිංගඟේ ඉහළ පෝෂක ප්‍රදේශවලට පෙරේදා (12) සිට ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ඊයේ (13) ගිංගඟ නෙළුව ප්‍රදේශයෙන් පිටාර දමමින් ඇති බව ගාල්ල ගිංගඟ භාර වාරිමාර්ග ඉංජිනේරු නිලංග සුභසිංහ මහතා පැවසීය. පවතින වැසි තත්ත්වය තවදුරටත් පැවතියහොත් තවලම, නාගොඩ, වැලිවිටිය - දිවිතුර සහ බද්දේගම ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යට විය හැකිය. ඒ හේතුවෙන් ගඟ දෙපස ජනතාව දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් සිටිය යුතු බව සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. එසේම යටියන්තොට ප්‍රදේශය හරහා ගලා බසින කැලණි ගඟේ ජල මට්ටමද සීග්‍රයෙන් ඉහළ යෑම හේතුවෙන් ගඟ අවට හා පහත්බිම්වල ජීවත් වන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බවත් කැලණි ගඟට බැසීමෙන් වළකින ලෙස හා ඔරුපාරුවලින් එගොඩවීම නොකරන ලෙස ත්යටියන්තොට පොලිසිය ජනතාව දැනුවත් කරන ලදි. මේ අතර කළු ගඟද පිටාර මට්ටමේ පවතින බව වාර්තා වේ.

එසේම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් අපේක්ෂා කළ හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එසේම වයඹ පළාතෙත් කොළඹ, ගම්පහ, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 – 100ත් පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේය.

එමෙන්ම මේ දිනවල පවතින අධික සුළං සහ වැසි තත්ත්වය හේතුවෙන් පවුල් 1,908 අයත් පුද්ගලයින් 7,474 දෙනකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (13) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 345 කට අයත් පුද්ගලයින් 1,808 දෙනකු පීඩාවට පත්ව තිබේ. එසේම සබරගමුව පළාතේ පවුල් 286කට අයත් පුද්ගලයින් 1,129ක්, වයඹ පළාතේ පවුල් 396කට අයත් පුද්ගලයින් 1,356ක්, උතුරු පළාතේ පවුල් 9 අයත් පුද්ගලයින් 33ක්, මධ්‍යම පළාතේ පවුල් 44කට අයත් පුද්ගලයින් 178ක්, දකුණු පළාතේ පවුල් 326කට අයත් පුද්ගලයින් 1,095ක්, නැගෙනහිර පළාතේ පවුල් 39කට අයත් පුද්ගලයින් 117ක් සහ බස්නාහිර පළාතේ පවුල් 808කට අයත් පුද්ගලයින් 3,566ක් මෙලෙස පීඩාවට පත්ව තිබේ. ආපදා තත්ත්වය නිසා පුද්ගලයින් 16 දෙනකු තුවාල ලබා ඇති අතර පවුල් 13කට අයත් පුද්ගලයින් 60දෙනකු ආරක්ෂක කඳවුරු 03ක රඳවා සිටින බවද අපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

[තියේෂා ද සිල්වා] [සුමන උදයන්ත] [සමන් එස්. රත්නායක]

මාතෘකා