තුවාල ලැබූවන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීම සඳහා සියලුම සෞඛ්‍ය සේවකයින් කැඳවයි

 ඡායාරූපය:

තුවාල ලැබූවන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීම සඳහා සියලුම සෞඛ්‍ය සේවකයින් කැඳවයි

දිවයිනේ ස්ථාන 06ක සිදු වූ බෝම්බ පිපිරීම්වලින් තුවාල ලබා රෝහල්ගත කරන රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් සිදු කිරීම සඳහා සියලු පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබාදී ඇත.

 

ඒ අනුව කොළඹ ජාතික රෝහල, මීගමුව දිස්ත්‍රික් මහ රෝහල, මඩකළපුව මහ රෝහල ඇතුළු තදාසන්න රෝහල්වල සියලුම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය ඇතුලු සියලුම සෞඛ්‍ය සේවකයින් කැඳවා ඇති අතර අවශ්‍ය සියලුම ප්‍රතිකාර කඩිනමින් සිදු කිරිමට පියවර ගෙන ඇත. තවද තුවාල ලැබූ රෝගීන් සඳහා අවශ්‍ය රුධිර සාම්පල රෝහල්වලට අවශ්‍ය තරම් ලබා දී ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා පවසයි.

 

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ජාතික රුධිර පාරවිලයන සේවයෙන් සහ හලාවත මහ රෝහලෙන් අවශ්‍ය තරම් රුධිර සාම්පල ලබා දී ඇත. කොළඹ ජාතික රෝහලට අවශ්‍ය තරම් රුධිර සාම්පල ලබා දී ඇත. මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ රුධිර සාම්පලවල හිඟයක් පවතින බවට සමාජ ජාලා වෙබ් අඩවිවල පළවන ප්‍රවෘත්තිය අසත්‍ය බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසයි. මේ අතර රෝගීන්ට අවශ්‍ය ඖෂධ, සේලයින්, ඇතුලු අනෙකුත් පහසුකම්ද අවශ්‍ය තරම් ලබාදීමට පියවර ගෙන ඇත.