ආනයනික පළතුරුවල පළිබෝධ නාශක ඇති බව මෙතෙක් තහවුරු වී නැහැ

 ඡායාරූපය:

ආනයනික පළතුරුවල පළිබෝධ නාශක ඇති බව මෙතෙක් තහවුරු වී නැහැ

ආනයනය කරන පළතුරු වර්ගවල පළිබෝධ නාශක සංඝටක ඇති බව සිදු කළ පරීක්ෂණවලින් මෙතෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත අමාත්‍යාංශයේ වෘත්තීය ආහාර සුරක්ෂිතතා ඒකකය විසින් එම පරීක්ෂණ සිදුකරනු ලැබූ අතර ගුවන්තොටුපොළේදී සහ වරායේදී ලබාගත් ආනයනය කරන පළතුරු වර්ගවල සාම්පල පරීක්ෂාවට ලක් කළ බව එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සපුමල් ධනපාල මහතා පවසයි.

ආනයනික ඇපල්, මිදි හා දොඩම්වල පරීක්ෂා කළ සම්පලවල ශ්‍රී ලංකාවේ තහනම් පළිබෝධ සංඝටක අඩංගු බවට රජයේ රසපරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ගිණුම් කාරක සභාව පසුගියදා ප්‍රකාශ කර ඇත. 2018 වර්ෂයේ සිදු කළ පරීක්ෂණවලදී එවැනි පළිබෝධ නාශක සංඝටක ආනයනික පළතුරුවල අඩංගු වී නොතිබුණ බව අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. කෙසේ වෙතත් එළවලු, පළතුරු හා තෙල් වර්ගවල සිදු කළ පරීක්ෂණ වාර්තා ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගියදා පැවසීය.