සිව් නිවුන් දරුවන් වෙනුවෙන් ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්

 ඡායාරූපය:

සිව් නිවුන් දරුවන් වෙනුවෙන් ජනපතිගෙන් මුදල් පරිත්‍යාගයක්

තම කුළුඳුල් දරු උපතට සූදානමින් උන් ගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානිට කුළුඳුලේම නිවුන් දරුවන් සිව්දෙනෙකුම උරුමව තිබුණි. බිළිඳු දියණියන් දෙදෙනෙකුගේද, පුතුන් දෙදෙනෙකුගේද රැකවරණය, පෝෂණය මෙන්ම සනීපාරක්ෂාව සැලසීම මේ තරුණ මවට අභියෝගයක් වූවාට සැකයක් නැත. දෙමව්පියන්ගේද උදව් උපකාර ලබා ගනිමින් දරුවන් රැක බලා ගත්තද, රජයේ සේවකයන් වූ මේ නිවුන් දරුවන්ගේ මව් පිය දෙපළට පමණක් දරුවන් ලොකු මහත් කර ගැනීමේ වැය බර දරනු නොහැකි විය.

 

‘ජනපතිට කියන්න වැඩසටහන වෙත තමා මුහුණු දී සිටින අභියෝගය පවසා ජනාධිපතිවරයා වෙතින් උපකාරයක් ඉල්ලා සිටිමට අයේෂා තීර්ණය කළේ එබැවිනි. ‘ජනපතිට කියන්න වැඩසටහන වෙත ලැබුණු මෙම සුවිශේෂ ඉල්ලීම වෙත කාරුණික වූ ජනාධිපතිවරයා  මෙම දරුවන් හදා වඩා ගැනීම වෙනුවෙන් එක් දරුවෙකු වෙත රුපියල් ලක්ෂ 05 බැගින් දරුවන් සිව් දෙනා වෙත රුපියල් මිලියන 02ක පරිත්‍යාගයක් ලබාදීමට කටයුතු කළේය.

 

අදාළ මුදල් පරිත්‍යාගය ලබා ගැනීම වෙනුවෙන් ඊයේ (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අයේෂා දිල්හානි මහත්මිය ඇගේ ස්වාමිපුරුෂයා, මව සහ නිවුන් දරුවන් සිව් දෙනා සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.