ජාතික, අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් සහිත පොලිස් සේවාවක් ඇතිකිරීම අරමුණයි

 ඡායාරූපය:

ජාතික, අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් සහිත පොලිස් සේවාවක් ඇතිකිරීම අරමුණයි

ශ්‍රී ලංකා පොලිස් සේවාව ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන්ද ඉහළ පිළිගැනීමක් ඇති සේවාවක් බවට පත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතේ පවතින කාලසීමාව තුළ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

 

කළුතර පොලිස් අභ්‍යාස ආයතනයේ කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ විසිරයාමේ පෙළපාළිය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පස්වරුවේ පැවැත්වුණු අතර එම අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ලොව දියුණු රටවල පොලිස් සේවාවන් හා සැසඳීමේදී ශ්‍රී ලංකා පොලිස් සේවාව වෙනස්කම් රැසකට භාජනය විය යුතුව තිබෙන බවයි. එම ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමීප කරවීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර වශයෙන් සිදුකළ යුතු පරිවර්තනීය වැඩපිළිවෙළ පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතට පවරාගත් ඉකුත් මාස කිහිපය තුළ ආරම්භ කළ බව ජනාධිපතිවරයා පැවසීය.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයට පමණක් සීමා නොවූ ශ්‍රී ලංකා පොලිසිය අද මහජන සුබසාධන සේවාවන්වලදී ඉටුකරන මානුෂීය හා විශිෂ්ට මෙහෙවරද එහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් කෙරිණි. ඊයේ පස්වරුවේ කළුතර පොලිස් අභ්‍යාස ආයතනය වෙත ගිය ජනාධිපතිවරයා පොලිස් උත්තමාචාර මධ්‍යයේ අභිමානවත් අයුරින් පිළිගැනිණි. ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස ආයතනයේ ඉතිහාසය තුළ පොලිස් කාන්තා බලඇණියක් විසිර ගිය ප්‍රථම අවස්ථාව මෙයවීම විශේෂත්වයක් වන අතර පොලිස් අභ්‍යාස ආයතනයේ පුහුණුව සාර්ථක ලෙස අවසන් කළ කාන්තා කොස්තාපල්වරියන් 586 දෙනෙකු සහ උප පොලිස් පරීක්ෂකවරියන් 27 දෙනෙකු ඇතුළු 613 දෙනෙකු විසිර ගියහ. විශිෂ්ටතා දැක්වූ පොලිස් නිලධාරිනියන්ට සම්මාන සහ සහතික පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ජනාධිපතිවරයා වෙතද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.