අපේ රජය පැලවෙන මුල්ගල් තියන්නේ නැහැ

 ඡායාරූපය:

අපේ රජය පැලවෙන මුල්ගල් තියන්නේ නැහැ

ඉතිහාසයේ බෙහෙත් මිල අඩු කිරීම ගැන කවුරුත් කතා කළේ නැහැ. විවේචන නම් කරනවා. අද මහරගම අපේක්ෂා රෝහලට ගියහම රෝගියෙකුට රුපියල් ලක්ෂ 150ක් වුණත්  වැය කරනවා. එහෙම වැඩ කරන කොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ආණ්ඩුවේ කකුලෙන් අදින්න කටයුතු කරනවා. තවත් ඉන්නවා ස්වාමීන් වහන්සේලා හෙද සංගමයක් කියලා. කොහොමද හිර කරගෙන ඉන්නේ කියලා බලාගෙන. අපි කල්පනා කරන්න ඕන අපි හැමෝටම එක හිතකින් වැඩ කරන්න ඇයි බැරි. මේවාගෙන් තැලෙන්නේ අහිංසක මිනිස්සු කියලා අපි හිතන්න ඕන. අපේ රජය පැලවෙන මුල්ගල් තියන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය පැලවෙන්න මුල්ගල් තියලත් නැහැ.යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය. අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (06) රුපියල් මිලියන 545ක විදමකින් ඉදි කිරීමට නියමිත රත්නපුර කලවාන රෝහලේ නව සිවු මහළ් ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේද කීවාය.  

 

රත්නපුර මහරෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමත් සමඟ සබරගමුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කරලා තියෙනවා. ඇහැළියගොඩින් පටන් ගත්තහම ඇඹිලිපිටිය දක්වාත් මේ පැත්තෙන් බලංගොඩ දක්වාත් මේ පැත්තෙන් කලවාන දක්වාත් රොහල් සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කරලා තියෙනවා. ඉදිරියේදී මිලියන 8000ක් වියදම් කරලා ඇඹිලිපිටියේ සියලු පහසුකම්වලින් යුත් රෝහලක් ඉදිකිරීමට කටයුතු කර තිබෙනවා. මේ රෝහල දිහා බලන කොට ඒ තරම් සැලැස්මක් නැහැ. රෝහලක් වුණහම හොඳ සැලැස්මක් තියෙන්න ඕන. රත්නපුරයට සෞඛ්‍ය පිළිබඳව හොඳ සැලැස්මක් තියෙනවා. ඒක මම කියන්න ඕන. පළාත් අධ්‍යක්ෂකතුමා කිව්වා වගේ ආණ්ඩුව මොකුත් කරන්නේ නැහැ කියලා තමයි කට්ටියම කට ඇරගෙන ඉන්නේ කියන්න බලාගෙන කියලා. මේ ආණ්ඩුව කරන්නේ නැත්තේ මේවාට ප්‍රචාරයක් ලබා නොදීම විතරයි. අඩුම තරමේ අද මිලියන 545ක් වියදම් කරලා මුල්ගලක් තියනවා කියලා ලොකු බෝඩ් එකක් නගරයේ ගැහුවා නම් ඔක්කොමලා කතා කරන්න පටන් ගනියි ඒක කරන්නේ නැති හින්දා අවුරුදු 20ක් බලයේ හිටියා. ඒ බලයේ හිටිය කාලයට වඩා වැඩි වැඩ කොටසක් පසුගිය අවුරුදු 04 තුළ මේ රත්නපුරේට කරලා තියනවා කියලා මට ආඩම්බරයෙන් හා වගකීමෙන් කියන්න පුළුවන්. 2017 මැයි 25 වැනිදා මේ ප්‍රදේශවලට ස්වාභාවික විපතක් ආවා. ඒකෙන් විපතට පත් අයට අක්කර 400ක ඉඩම් ප්‍රමාණයක් ඕන. බලන බලන ඉඩම් අධි අවදානම් කියනවා. නාය යනවා කියනවා. එදා ස්වාභාවික විපතකින් මිය ගියහම දුන්නේ රුපියල් පහළොස් දාහයි. අපි 2015 ඉඳලා ඒක රුපියල් ලක්ෂය දක්වා වැඩි කළා.

මේවා අපි කරලා තියෙනවා. මේ පළාතේ වෛද්‍ය බලධාරී මහත්වරුන්ගේ නිර්දේශ අනුව අපි මේ රෝහල සැලැස්මක් අනුව සංවර්ධනය කරනවා. නැතිව හිතෙන හිතෙන විදිහට මුල්ගල් තියන්න පුළුවන්. එතකොට මුල්ගල පැලවෙන්න පුළුවන් නැත්නම් ගලවලා විසි කරන්නත් පුළුවන්. දැන් පිලපිටිය මහත්තයා ඒ කාලේ වැඩ කරලා ගහපු බෝඩ් අද ගලවලා විසි කරලා තියෙන්නේ. අපිට බෝඩ් අවශ්‍ය නැහැ අපි මේවා දිහා බලන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා. මේවා මීට මාස පහකට කලින් කෙරිලා ඉවරයි. නමුත් රටේ තිබුණු කුමන්ත්‍රණයක් නිසා මාස හයක් අපේ වැඩ කටයුතු විනාශ වුණා. ඔක්තෝම්බර් 26 වැනිදා බලය ලබාගන්න හා බලය රැකගන්න කළ කුමන්ත්‍රණය නිසා මාස හයක් අපි මේ අප්‍රේල් වෙනකල්ම වැඩ නැහැ. දැන් අයවැය සම්මත කර ගත්තා දැන් වැඩ කරන්න පුළුවන්. කලවාන පොළ හදන්නත් මිලියන 20ක් ලබා දුන්නා කුමන්ත්‍රණය නිසා ඒකත් ගියා. ජනතාව වෙනසක් ඉල්ලුවා ඒ වෙනස ඉල්ලුවේ මේ බිල්ඩින් හදන්න කියලා නෙවෙයි. මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න කියලයි ඒ වෙනස ඉල්ලුවේ. යුද්ධය විකුණාගෙන කාලා යුද්ධය මුවාවෙන් නොයෙකුත් විදිහේ බරපතල හානි රටට කරන අයව ඉවත් කරලා දෙන්න කියලා කිවුවා අපි ඒකට කැප වුණා. අපි කැපවෙලා ඉන්නේ මේ රට හරි මාර්ගයට හරි තැනට අර ගෙන යන්න. අපි ලෝකය තුළ කොන් වෙලා හිටිය රටක්. අපිට අයිතියක් නැති රටක් වෙනස් කරගෙන යන කොට තමයි ඔක්තෝම්බර් 26 කුමන්ත්‍රණය වුණේ.

තරහා වෙන්න එපා වෛද්‍යතුමන්ලා මම කියන්න ඕන. අද රජයේ වෛද්‍ය සංගමය කියා ගන්නා කට්ටිය හැසිරෙන විදිහ දැක්කහම බොහොම කණගාටුයි. ඉගෙන ගන්නේ නිදහස් අධ්‍යාපනයෙන්. වෛද්‍යවරයෙක් බවට පත් වෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන්. මේ හැම මනුෂ්‍යයෙක්ම සීනී ඇටයක් ගන්න කොට හරි බදු ගෙවනවා. සල්ලි තියෙන අය ආදායම් බදු ගෙවනවා. මේවායින් නඩත්තු වෙලා නිදහස් අධ්‍යාපනය තුළින් ඉගෙන ගත්තායින් පස්සේ ආණ්ඩු පෙරලන්න බලය ලබා ගන්න අහිංසක මිනිස්සු බිත්තියට හේත්තු කරලා තමන්ගේ වැඩ වර්ජන කරලා හැන්දෑවට පැක්ට්‍රිස් එකට යන වෛද්‍ය සංගමයක් තමයි අපිට තියෙන්නේ. අපි ඒවායින් මිදෙන්න ඕන.