රුපියල යළි ස්ථාවර වන බවට මහ බැංකු අධිපතිගෙන් අවධාරණයක්

 ඡායාරූපය:

රුපියල යළි ස්ථාවර වන බවට මහ බැංකු අධිපතිගෙන් අවධාරණයක්

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම පාලනය කර යළි එය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් ඉදිරි කාලයේදී රුපියලේ අගය ස්ථාවර වන බව තමන්ට විශ්වාස යැයි ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අවධාරණය කළේය.

පෙරේදා (2) ශ්‍රී ලංකා මහබැංකු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී කුමාරස්වාමි මහතා පැවසුවේ රුපියල ස්ථාවර කිරීමේ ප්‍රයත්නයක් ලෙස ශ්‍රී ලංකා මහබැංකුව සතු විදෙස් මුදල් සංචිතවලින් ඩොලර් මිලියන 184ක් නිදහස් කිරීමට පියවර ගත් බවය.

එක්සත් ජනපද ෆෙඩරල් බැංකුව දිගින් දිගටම එරට පොලී අනුපාත ඉහළ දැමීම සහ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් එක්සත් ජනපද ඩොලරයට ඇති ඉල්ලුම ඉහළ ගොස් ඇති අතර එමගින් නැඟී එන ආර්ථිකයක් සහිත රාජ්‍යයන් වන ඉන්දියාව, ඉන්දූනීසියාව සහ පිලිපීනය ආදී රටවල විදේශ විනිමය ඒකකද අවප්‍රමාණය වී ඇතැයි මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.

පසුගිය මාස 9ක කාලය තුළ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ ආයෝජනය කර තිබූ ඩොලර් මිලියන 467ක මුදලක් ආයෝජකයන් රටින් පිටට රැගෙන යාමද පසුගිය දින කිහිපයේ රුපියල අවප්‍රමාණය වීමට බලපෑ බව මහබැංකු අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

රජයේ මැති ඇමතිවරුන්ට සහ රජයේ ඉහළ නිලධාරීන්ට තීරු බදු රහිතව වාහන ගෙන්වීම සඳහා ලබා දී ඇති බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීම ඇතුළු රජය විසින් මේ වන විට ගෙන ඇති පියවර රුපියල මත ඇති වර්තමාන පීඩනය අඩු කිරීමට හේතුවන බවද කුමාරස්වාමි මහතා පෙන්වා දුන්නේය.

[මංජුල සමරසේකර]

මාතෘකා