දිස්ත්‍රික්ක හතරකට රතු නිවේදන

 ඡායාරූපය:

දිස්ත්‍රික්ක හතරකට රතු නිවේදන

 පවතින වර්ෂා සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගංවතුර, නායයෑම් සහ අකුණු අනතුරු යනාදිය ඉදිරි පැය 48 තුළදී නැවතත් අපේක්ෂා කළ හැකි බැවින් රත්නපුර, කෑගල්ල, නුවර එළිය, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට ලබා දී තිබූ අනතුරු ඇඟවීමේ රතු නිවේදනය අද (23) සිට යළි සක්‍රීය කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ ගාමිණී ජයතිස්ස මහතා ඊයේ (22) ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් මේ බව පැවසීය.

පසුගිය පැය 72ක කාලය තුළදී මිලිමීටර් 350කට වැඩි වර්ෂාවක් ලැබුණ බවත් ගාල්ල, කළුතර, නුවරඑළිය, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මහනුවර සහ රත්නපුර යන දිස්ත්‍රික්ක තුළ නායයෑමේ සිදුවීම් 83ක් වාර්තා වූ බවත් හෙතෙම අනාවරණ කළේය.

නායයෑම් අතුරින් සිදුවීම් 52ක් පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ අවධානයට යොමුව ඇති අතර දැඩි අවදානම් සහිත ස්ථානවල පිහිටි නිවාස 16ක ජනතාව ඉවත් කර ඇති බවත් ගාමිණී ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.

ඉදිරි පැය 24 තුළදී බෙංගාල බොක්ක ආශ්‍රිතව අවපීඩන තත්ත්වයක් වර්ධනය වීමෙන් බස්නාහිර, දකුණ, සබරගමු සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 100ත් 150ත් අතර වර්ෂාවක් අපේක්ෂා කළ හැකි බව මාධ්‍ය හමුවට සහභාගි වූ කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවාය. කන්කසන්තුරේ සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට දක්වා වූ මුහුදු තීරයේ පැයට කිලෝමීටර් 60කට වඩා සුළංද ඇති වන හෙයින් ධීවරයින්ට මුහුදු යාමෙන් වළකින ලෙසද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 14කට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 110ක පවුල් 18,079කට අයත් පුද්ගලයින් 68,343ක් මේ වන විට අවතැන් වී ඇත.

මැයි 17වනදා සිට ඊයේ (22) දක්වා ගංවතුර, නායයෑම් සහ අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 09 දෙනෙකු මිය ගොස් ඇති අතර ඉන් 04දෙනෙකු මියගොස් ඇත්තේ අකුණු අනතුරු හේතුවෙනි.

නිවාස සහ දේපළවලට සිදු වූ හානි ගණනය කිරීමේදී පූර්ණ හානි 24ක්, දේපළ හානි 1,464ක් වාර්තා වී ඇති අතර එසේ ආපදාවට ලක් වූ පුද්ගලයින් සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ආරක්ෂක අංශ එක් වී ආරක්ෂිත ස්ථාන 168ක් ආරම්භ කර තිබේ. එම ආරක්ෂිත ස්ථානවල පවුල් 6,710කට අයත් පුද්ගලයින් 24,187ක් මේ වන විට රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ආපදාව නිසා අගතියට පත් ජනතාවට සහන සැලසීම සඳහා සෑම දිස්ත්‍රික් ලේකම්වරයෙකුටම රුපියල් මිලියනයක් බැගින් මිලියන 25කුත් සහ දිස්ත්‍රික් මට්ටමින් ආපදාව බලපා ඇති ස්වරූපය අනුව රුපියල් මිලියන 14.5ක ආධාර ලබා දී තිබේ. කළුතර, ගාල්ල සහ මාතරට මිලියන 01 බැගින්, කෑගල්ල, රත්නපුර සහ ගම්පහට මිලියන 02 බැගින්, බදුල්ල සහ මොනරාගලට ලක්ෂ 05 බැගින්, පුත්තලම දිස්ත්‍රික්කයට මිලියන 1.5ක් සහ කොළඹ දිස්ත්‍රික්කයට මිලියන 03 බැගින් රජයෙන් එම ආධාර වෙන් කර තිබේ.

ස්වභාවික විපත් හේතුවෙන් මිය ගිය එක් අයකුට ජාතික ස්වාභාවික රක්ෂණාවරණය මඟින් රුපියල් ලක්ෂය බැගින් වන්දියක් ලබා දෙන අතර මරණයේ කටයුතු සිදු කිරීමට රුපියල් 15,000ක මුදලක්ද ලබා දීමට නියමිත බව ආපදා සහ සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චමින්ද පතිරණ මහතා පැවසීය. ඒ අනුව පූර්ණ හානි සහ අර්ධ හානි සිදුවූ නිවාස සහ දේපළ අදාළ දිස්ත්‍රික්කයේ තාක්ෂණික නිලධාරීන් ලවා ඇස්තමේන්තුගත කොට උපරිම මිලියන 2.5ක වන්දියක් ලබා දීමටද කටයුතු කෙරේ.

ගංගා අශ්‍රිත ජල මට්ටම යම් තරමකින් පහළ බැස පැවතියද යළි වර්ෂාව ලැබීම හේතුවෙන් අද (23) සහ හෙට (24) දිනවලදී ගංගා ආශ්‍රිත ජල මට්ටම නැවතත් ඉහළ යා හැකි අතර කැලණි, කළු, ගිං සහ නිල්වලා ගංඟා ආශ්‍රිත ජනතාව විමසිල්ලෙන් පසුවන ලෙසත් වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය පැවසුවාය.

ජල මට්ටම ඉහළ ගිය ගංගා හා ජලාශ ආශ්‍රිතවත් ඉදිරි පැය දොළහක කාලය තුළදී ගම්පහ නගරයටත් ගංවතුර අවදානමක් පවතින බවද ඇය පැවසුවාය.

පවතින ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් ඇතුළු භට පිරිස් 5800ක් පමණ දැනටමත් ආපදාවට ලක් වූ ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සඳහා සූදානමින් පවතින බව මාධ්‍ය හමුවට සහභාගි වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක, ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ යුධ හමුදාවේ සෙබළුන් 300ක්, නාවික හමුදාවේ සෙබළුන් 100ක් ආපදාවට ලක් වූ රත්නපුර, ගාල්ල, මාතර, පුත්තලම, කළුතර යන දිස්ත්‍රික්කවලට මේ වන විටත් යොමුකර ඇති බවත් පවතින ආපදා තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වුවහොත්, ජනතාව ගලවා ගැනීමට යුධ හමුදා සෙබළුන් 1,000ක්, නාවික හමුදාවේ සෙබළුන් 630ක් සහ ගුවන් හමුදාවේ සෙබළුන් 270ක් සහ ගුවන් යානා සූදානමින් පවතින බව වැඩිදුරටත් පැවසීය.

ජායා [රුක්මාල් ගමගේ]

[දිනුක මලින්ද ]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?