හඳුනා නොගත් රෝගය වැලඳුණු 200ක් දකුණේ රෝහල්වල : විශේෂඥ කණ්ඩායමක් පරීක්ෂණ අරඹයි

 ඡායාරූපය:

හඳුනා නොගත් රෝගය වැලඳුණු 200ක් දකුණේ රෝහල්වල : විශේෂඥ කණ්ඩායමක් පරීක්ෂණ අරඹයි

දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගයට සමාන හඳුනා නොගත් වසංගත රෝගී තත්ත්වය හේතුවෙන් මාස එක හමාරක කාලය තුළදී පුද්ගලයින් 600ක් පමණ ගාල්ල සහ මාතර රෝහල් තුළ ප්‍රතිකාර ගෙන ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඊයේ (20) 'රැස' කළ විමසීමකදී පැවසීය.

මේ වන විටත් ප්‍රදේශීය රෝහල් තුළ රෝගීන් 200ක් පමණ ප්‍රතිකාර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය. මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ, මෙම රෝගයෙන් පසුගිය දා කුඩා ළමයින් පස් දෙනෙකු මිය ගොස් ඇති අතර මේ හේතුවෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 07ක් වන බවයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා ප්‍රකාශ කළේ, මිය ගිය පුද්ගලයින් හත් දෙනාගෙන් පස් දෙනෙකුගේ රුධිර සාම්පල් පරීක්ෂා කිරීමේදී හඳුනා නොගත් රෝග කාරකයක් හමු වූ බවයි. මෙම රෝගය හේතුවෙන් මේ වන විට කරාපිටිය රෝහල තුළ පමණක් රෝගීන් 37 දෙනෙකු නේවාසික ප්‍රතිකාර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ තොරතුරුවලට අනුව ගාල්ල කරාපිටිය රෝහල, මාතර මහ රෝහල සහ ඇල්පිටිය, කඹුරුපිටිය, තංගල්ල, වලස්මුල්ල යන මූලික රෝහල්වලින් මෙම රෝගීන් බහුල ලෙස වාර්තා වී තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝගී විද්‍යා ඒකකයේ විද්‍යාඥයින් කණ්ඩායමක් අද (21) දින ගාල්ල සහ මාතර ප්‍රදේශවල ස්ථානීය පරීක්ෂාවක් කිරීමට නියමිත බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා