2015න් පසු කිසිම බලපෑමක් නැතිව රාජකාරි කරනවා : යුද හමුදාපති

 ඡායාරූපය:

2015න් පසු කිසිම බලපෑමක් නැතිව රාජකාරි කරනවා : යුද හමුදාපති

ශ්‍රී ලංකාවේ 2015 පැවති ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව පීඩනයකින් හෝ කිසිදු දේශපාලන බලපෑමකින් තොරව සිය රාජකාරිය ඉටු කරන බව තමන් ආඩම්බරයෙන් පවසන්නේ යැයි යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අවධාරණය කරයි.

මාධ්‍යවේදිනී මීරා සිරිනිවාසන් සමග ඉන්දියාවේ ජාතික පුවත්පතක් වන 'ද හින්දු' වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් යුද හමුදාපතිවරයා මේ බව අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා, අගමැතිවරයා හෝ ආරක්ෂක ඇමතිවරයා යටතේ රාජකාරී කිරීමේදී තමන් කිසිදු පීඩාවකට මුහුණ නොදෙන බවත්, ආරක්ෂක අංශවල දේශපාලනයේ නියැලෙන්නන් අවම වී ඇති බවත් යුද හමුදාපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

එම පුවත්පත් සාකච්ඡාවේදී ඔහු මෙසේද පවසා තිබිණි.

"2015 දී ප්‍රජාතන්ත්‍රවාදී විදිහට රටේ ජනාධිපතිවරණය පැවැත්වුණා. එහිදී ආරක්ෂක හමුදා සාමාජිකයින් දේශපාලනයේ නියැලෙන බවට, විශේෂයෙන් යුද හමුදාව වෙත බරපතළ චෝදනා එල්ල වුණා. අපගේ වගකීම වටහා ගැනීමට උතුරු හා නැගෙනහිර ජනතාව සමග කටයුතු කරමින් සිටිනවා. තිස් වසරක කුරිරු යුද්ධයේදී දෙපාර්ශ්වයක ජීවිත බොහෝ ගණනක් නැති වුණා. මෙය එක්තරා ආකාරයක අපට පරීක්ෂාසහගත කාලයක්. සමහර විට 2020 වෙන තෙක් එය පවතීවි. සටනක් අවසන් වුණාම තමන්ගේ භූමිකාව හා කාර්ය හඳුනාගැනීම යුද හමුදාවේ වගකීමක්. වසර 30ක යුද්ධයේදී සිදු වූයේ කුමක්ද යන්න වටහා ගැනීමට පසුගිය වසර නවයේදී අපට බෙහෙවින් අපහසු වුණා. පිටස්තර ප්‍රජාවට වඩා අපගේ ජනතාව සතුටු කිරීමට රට තුළ කළ හැකි කැපවීම් හා යාන්ත්‍රණයක් ගැන අප සොයා බැලිය යුතුයි."

[ශිවන්ති ප්‍රනාන්දු]

 

 

මාතෘකා