මාස හතරට ඩෙංගු රෝගීන් 17,028ක්

 ඡායාරූපය:

මාස හතරට ඩෙංගු රෝගීන් 17,028ක්

මේ වසරේ අප්‍රේල් මාසය වන විට ඩෙංගු රෝගීන් 17,028 ක් දිවයින පුරා වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය ඊයේ (03) ‘රැස’ කළ විමසීමකදී පැවසීය.

ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 7,178ක්, පෙබරවාරි මාසයේ රෝගීන් 4,395ක් මාර්තු මාසයේ රෝගීන් 3,303ක් අප්‍රේල් මාසයේ රෝගීන් 2,152ක් වාර්තා වී තිබේ. එසේම ඩෙංගු රෝගය වැලදීමෙන් මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ. 2018 වසරේ ජනවාරි මස වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවට වඩා අප්‍රේල් මාසය වන විට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ යම් අඩු වීමක් පෙන්නුම් කරන බවද ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

‘මේ වෙනකොට වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වී තියෙන්නේ කොළඹ සහ මඩකලපුවේ. ඒ ප්‍රමාණය කොළඹ 2,623ක් සහ මඩකලපුවේ 2,178ක්. අඩුම ඩෙංගු රෝගීන් වාර්තා වූ මන්නාරම් දිස්ත්‍රික්කයෙන් හමු වී ඇත්තේ රෝගීන් 24කු පමණයි. ප්‍රතිශතයක් ලෙස බලද්දී ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් සියයට 30.9ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන්. ඉදිරියේදී වර්ෂාව දිගින් දිගටම ලැබුණොත් මේ තත්ත්වය වැඩි වෙන්න පුළුවන් නිසා ජනතාව මේ ගැන හොඳ අවබෝධයෙන් සිටිය යුතුයි.’ ඇය වැඩිදුරටත් පැවසුවාය.

මාතෘකා