කාන්තාවන්ට පහර දුන් එප්පාවල එස්.අයි.ට එරෙහිව විනය පියවර

 ඡායාරූපය:

කාන්තාවන්ට පහර දුන් එප්පාවල එස්.අයි.ට එරෙහිව විනය පියවර


එප්පාවල නල්ලමුදාව ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථානයේදී පසුගිය අප්‍රේල් 28 වැනිදා ප්‍රදේශවාසීන් පිරිසකට පහර දුන් පොලිස් උප පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (30) උපදෙස් දී තිබේ.
නල්ලමුදාව ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථානයේ හිමිනමක් සමඟ ප්‍රදේශයේ වැසියන් කිහිප දෙනෙකු පසුගිය අප්‍රේල් 28වෙනිදා ඇති කර ගත් ආරවුලක් අතරතුර සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා විසින් පිරිස පලවා හරිනු ලැබීමේදී එහි සිටි කාන්තාවන් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකුට පොලුවලින් පහර දී තිබිණි. පහර දීමෙන් තුවාල ලැබූ එක් කාන්තාවකට රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමටද සිදු වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතාගේ අත්සනින් ඊයේ (30) නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් වූයේ අදාළ පහර දීමට සම්බන්ධ පොලිස් උප පරීක්ෂකවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියා මාර්ග ගැනීමට උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින උප පොලිස් පරීක්ෂකවරයා කැබිතිගොල්ලෑව සහකාර පොලිස් අධිකාරීවරයා විසින් වැඩ තහනමට ලක් කරනු ලැබ තිබෙන බවයි.

මාතෘකා