වසර 10ක් තුළ උතුරුකරයේ අධ්‍යාපනය දියුණු කරනවා

 ඡායාරූපය:

වසර 10ක් තුළ උතුරුකරයේ අධ්‍යාපනය දියුණු කරනවා

වසර 10ක් තුළ උතුරු හා නැගෙනහිර පළාත්වල අධ්‍යාපන යුද වකවානුවට පෙර තිබූ ලෙසට දියුණු කිරීමට කටයුතු කරන බවත්, දිගු කාලීන සැලැස්මක් යටතේ යාපනයේ අධ්‍යාපනය උසස්ම තලයකට ගෙන එන බවත් ඒ සඳහා නව වැඩසටහනක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් උපදෙස් දෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ස්වේච්ඡා හා කොන්ත්‍රාත් පදනම මත උතුරු පළාතේ සේවය කළ ගුරුවරුන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා අරලියගහ මන්දිරයේදී පැවැත්වූ උත්සවයට සහභාගී වෙමින් ඊයේ (28) දින අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුර අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
උතුරු පළාතේ කොන්ත්‍රාත් සහ ස්වේච්ඡා පදනම මත දීර්ඝ කාලයක් සේවය කළ ගුරුවරුන් ස්ථිර සේවයට බඳවා ගැනීම අද සිදුවෙනවා. මෙය අප සිදු කළයුතු කාර්යයක් වන අතර මේ ආකාරයට ස්ථිර සේවයට බඳවා ගත යුතු තවත් කණ්ඩායමකට අපි ඉදිරියේදී පත්වීම් ලබාදීමටත් කටයුතු කරනවා. ඔබ අතුරින් බොහෝ දෙනෙක් යුද්ධ කාලයේදී පවා උතුරු පළාතේ පාසල්වල සේවය කර තිබෙනවා. යුද්ධයෙන් පසුවත් ගුරුවරුන් නොමැති අවධියේ ඔබ අතරින් බොහෝ දෙනෙක් එම පාසල්වලට තම සේවය ලබාදී තිබෙනවා. එම අවස්ථාවේ නිසි බඳවාගැනීමේ ක්‍රමවේදයක් නොතිබීම හෝ ඔබ අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබීම ආදි කාරණා පැවතුණත් පාසල්වල තිබූ ගුරු හිඟය පිරවීමට ඔබ ඉදිරිපත් වුණා. එම නිසා කැපවීමෙන් සේවය කළ ඔබ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා.
එම සේවය පිළිගැනීමක් වශයෙන් ඔබව ස්ථිර සේවයේ පිහිටුවීම පිළිබඳ අප සාකච්ඡා කළා. අධ්‍යාපන අමාත්‍යතුමා, සම්බන්ධන් විපක්ෂනායකතුමා, ආණ්ඩුකාරතුමා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා, පළාත් අධ්‍යාපන අමාත්‍යතුමා ආදි පුද්ගලයන් මේ පිළිබඳ උනන්දුවක් දැක්වූවා. මගේ අමාත්‍යාංශයේ උපදේශක පාස්කරලිංගම් මහතාට මෙම වැඩකටයුත්ත ඉටු කිරීමට මම පැවරුවා. පත්වීම් ලබාදීමට අවශ්‍ය පසුබිම අප සකසා ගත්තත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබූ නිසා අපට පත්වීම් ලබාදීමට නොහැකි වුණා. නමුත් මැතිවරණය අවසන් වීමෙන් පසුව මේ ආකාරයට අද දිනයේ ඔබට පත්වීම් ලබාදීමට අපි කටයුතු කළා.
උතුරු පළාතේ පාසල් ගණනාවක ඔබ සියලු දෙනා සිදුකළ සේවය අප අමතක කරන්නේ නැහැ. විශේෂයෙන් අප පාසල් යන අවධියේ යුද්ධයට පෙරත් රටේ හොඳම අධ්‍යාපනය ලබාදුන්නේ යාපනය දිස්ත්‍රික්කය තුළයි. හොඳම අධ්‍යාපනයක් ලබාදෙන දිස්ත්‍රික්ක ලෙස කොළඹ සහ යාපනය එකල හැඳින්වූවා. එම ලැයිස්තුවේ ගම්පහ දිස්ත්‍රික්කය තිබුණේත් යාපනයට පසුවයි. මහනුවර, ගාල්ල, කුරුණෑගල දිස්ත්‍රික්ක එම ලැයිස්තුවට ඇතුළත් වී තිබුණේ ඉන් පසුවයි. නමුත් යුද්ධයෙන් පසුව අද වන විට යාපනයේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් බිඳ වැටී තිබෙනවා. අද යාපනයට වඩා හොඳින් අධ්‍යාපනය ලබාදෙන දිස්ත්‍රික්ක ගණනාවක් තිබෙනවා.
යුද්ධයෙන් පාසල් විනාශ වීම, ඇතැම් පාසල් හමුදාවට ලබාගැනීමට සිදුවීම, ගුරුවරු උතුරු පළාත අතහැර යාම ආදිය යාපනයේ අධ්‍යාපනය විනාශ වීමට හේතුවක් වුණා. යාපනයේ ජනතාව රටට විශාල සේවයක් සිදුකළා. එම ජනතාවගෙන් කොටසක් ගුරුවරු ලෙස බාල පරම්පරාවට අධ්‍යාපනයට ලබාදුන් අතර තවත් කොටසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි රැකියාවල නිරත වුණා. නමුත් 83 ජනවාර්ගික කෝලාහලය ඇති වීමෙන් පසුව උතුරු පළාතේ බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවෙන් පිටවී ගියා. ඔවුන් විදේශ විශ්වවිද්‍යාලවල, විදේශ රාජ්‍ය ආයතන සහ සමාගම්වල සේවය කරනවා. එමෙන්ම විදේශික ව්‍යාපාරිකයන් ලෙස එම රටවල හොඳින් ජීවත් වෙනවා. එම පාඩුව වර්තමානයේ අපේ රටට බලපා තිබෙනවා. ඒ වගේම යුද්ධය නිසා යාපනය ප්‍රදේශයේ බොහෝදෙනා කොළඹ, වැල්ලවත්ත ප්‍රදේශවල ජීවත්වීමට තීරණය කළා. එම නිසා අධ්‍යාපනයට අවශ්‍ය වැදගත්ම සාධකය වන මිනිස් සම්පත එම ප්‍රදේශවල නොමැති වුණා. ඒ අනුව යාපනයේ අධ්‍යාපනය බිඳ වැටීම ආරම්භ වුණා.
නැගෙනහිර පළාතේ හොඳම ගණිත අධ්‍යාපනය ලබාදෙන පාසලක් ලෙස හාර්ඩ්ලී විද්‍යාලය එකල සැලකුණා. නමුත් අද හාර්ඩ්ලි විද්‍යාලයට එවැනි තත්වයක් නැහැ. හින්දු විද්‍යාලය, වෙම්බඩි කාන්තා විද්‍යාලය, යාපනය ශාන්ත ජෝන් විද්‍යාලය ආදිය එකල ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ පාසල්. නමුත් අද එම පාසල්වල අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබෙනවා. එසේ නම් යාපනයේ අධ්‍යාපනය නැවත දියුණු කිරීම සඳහා අවශ්‍ය මූලික පියවර ගැනීමට අද අපට සිදුව තිබෙනවා. මෙය එක් වසරකින් සිදුකළ නොහැකියි. ඒ සඳහා වසර 10ක පමණ කාලයක් ගතවෙනවා.
නැගෙනහිර පළාතටත්, අප ගුරුවරුන් ලබාදී තිබෙනවා. උතුරේ මෙන්ම නැගෙනහිර පාසල් ද දියුණු කළ යුතුව තිබෙනවා. වසර 10 ක් ඇතුළත පළමුවෙන්ම අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතුයි. යාපනයට පුරුදු අධ්‍යාපන ක්‍රමය ස්ථාපිත කළ යුතුයි. ඒ සඳහා විශ්‍රාමලත් විදුහල්පතිවරුන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ ආධාර උපකාර ලබාගත යුතුව තිබෙනවා. දක්‍ෂ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට උසස්වීම් ලබාදිය යුතුව තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපනය දියුණු කිරීම සඳහා විශාල වෙහෙසක් දරනවා. අධ්‍යාපනයේ නවීකරණයක් ඇති කිරීමටත් හොඳ ගුරුවරුන් ලබාදීමටත් එතුමා වෙහෙසෙනවා. වසර ගණනාවක් ආපස්සට ගිය අධ්‍යාපනය දියුණු කිරීම අපේ අරමුණයි. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධා ක්‍රිෂ්ණන් මහතාත් ද්‍රවිඩ පාසල්වල අධ්‍යාපනය නඟාසිටුවීම සඳහා විශාල මෙහෙවරක් කරනවා. වතුකරයේ පාසල් දියුණු කිරීම සඳහා ඔහු ගන්නා උත්සාහය මා දැක තිබෙනවා '' යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මාතෘකා