සීදූව අපරාධ අංශ ස්ථානාධිපති අල්ලස් ගනිද්දී අල්ලයි

 ඡායාරූපය:

සීදූව අපරාධ අංශ ස්ථානාධිපති අල්ලස් ගනිද්දී අල්ලයි

රුපියල් 25,000ක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම මඟින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ප්‍රදේශයේ පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට විරුද්ධව සීදූව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. සැකකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර වාසිසහගත ලෙස කටයුතු කිරීමට අවශ්‍ය නම් රුපියල් 25,000ක මුදලක් ලබාදෙන ලෙස අපරාධ අංශ ස්ථානාධිපතිවරයා පැමිණිලිකරුට යෝජනා කර ඇත. මේ සම්බන්ධයෙන් පැමිණිලිකරු අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ල අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සීදුව පොලිසිය වෙත පිටත් කර යවා ඇත. එහිදී උපායදූතයෙකු මගින් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට අල්ලස් ලබාදීමට යෝජනා කිරීමේදී ස්ථානාධිපතිවරයා කැමැත්ත පළ කළ නිසා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් වහාම ඔහුව අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගෙන් ‘රැස’ පුවත්පත ඊයේ (13) කළ විමසීමකදී පැවසීය.

අදාළ පොලිස් නිලධාරියා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත අද (14) ඉදිරිපත් කිරීමට නියමිත අතර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වා පසුගිය මාසය තුළදී පොලිස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැනිණි. ඒ අතර හලාවත ප්‍රදේශය භාරව සිටි සහකාර පොලිස් අධිකාරිවරයා සහ වත්තල-මහබාගේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයාද  වූහ.

මාතෘකා