රට පුරා හදිසි නීතිය

 ඡායාරූපය:

රට පුරා හදිසි නීතිය


මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි සතියක කාලසීමාවක් සඳහා දිවයින පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ.
පසුගිය සති දෙකක කාලය පුරා සිදුව ඇති කලහකාරී සහ සාපරාධී ක්‍රියා, එම සිද්ධීන් නිසා සිදුව ඇති ජීවිත සහ දේපළ හානිවීම්, ජාතීන් සහ ආගම් අතර ගැටලුකාරී තත්ත්වයන් ඇති වීම, දේපළ, පූජනීය ස්ථාන, ප්‍රවාහන පහසුකම් ආදියට පහරදීම් හා ඉහත සඳහන් සාපරාධී ක්‍රියා තවදුරටත් සිදුවීම යනාදී හේතූන් මත ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබෙන අතර, ඊයේ (06) දිනයේදී ඇමති මණ්ඩලයේද එකඟතාව පරිදි මෙසේ හදිසි තත්ත්වය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.


ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් තුළ ඇතැම් අවස්ථාවලදී සංවිධානාත්මක කණ්ඩායම් ගැටුම් සිදු කොට ඇති බව හඳුනාගෙන ඇති අතර, අදාළ තත්ත්වය සමනය කිරීම සඳහා ගත යුතු අත්‍යාවශ්‍ය පියවරක් වශයෙන් සීමිත වපසරියකින් යුතුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස වන හදිසි නීතිය ක්‍රියාත්මක කර තිබේ.


ආරක්ෂක වාතාවරණය නැවත සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිත යථා තත්ත්වයට පත් කොට අත්‍යාවශ්‍ය සැපයුම් හා සේවාවන් පවත්වාගෙන යාම, සාමය ස්ථාපිිත කිරීම පිණිස හදිසි අවස්ථා රෙගුලාසි පැනවීමට රජය තීරණය කොට ඇති අතර හදිසි අවස්ථාවක් ක්‍රියාත්මක කිරීමෙන් පනවනු ලබන රෙගුලාසිවලින් පවතින තත්ත්වය සමනය කිරීමට අවශ්‍ය නෛතික බලය පොලිසියට හා ත්‍රිවිධ හමුදාවටත් පැවරේ.
යම් සාපරාධී කටයුත්තකට, වාර්ගික හෝ ආගමික නොසන්සුන්තාවකට සම්බන්ධ හෝ ඒවා ඇති කරන යම් පුද්ගලයකු වේ නම් අපක්ෂපාතීව, යුහුසුලුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වෙත වැඩිදුරටත් උපදෙස් දී තිබේ.


අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේදී සද්භාවයෙනුත්, නීත්‍යානුකුලවත් මහජනතාවගේ සුබසිද්ධියට සහ ජන ජීවිතයට අවම බාධා වන පරිදි කටයුතු කරන ලෙසත්, මානව හිමිකම් උල්ලංඝනය නොවන ආකාරයට ක්‍රියා කරන ලෙසත් ආරක්ෂක අංශ වෙත ජනාධිපතිවරයා වැඩිදුරටත් විශේෂ උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

මාතෘකා