අල්ලස් කොමිසමට ලොකු බලයක්

 ඡායාරූපය:

අල්ලස් කොමිසමට ලොකු බලයක්

පරීක්ෂණ කොමිෂන් සභා මගින් අනාවරණය කරගනු ලබන කරුණු පදනම් කරගෙන නඩු පැවරීමේ බලය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ අනුව බැඳුම්කර කොමිසම් සභාව මෙන් ඉදිරියේදී ස්ථාපිත කරනු ලබන පරීක්ෂණ කොමිෂන් සභා මගින් අනාවරණය කරගත් කරුණු පදනම් කරගෙන, චෝදනා විමර්ශනය කිරීමේ බලය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට පැවරේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පැවරීමට නම් එම සංශෝධිත නීති කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත කරගත යුතු බව නීතිපතිවරයා විසින් දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා පැවසුවේ නීතිපති දෙපාර්තමේන්තුවට ඇති ගැටලු තම කොමිසමටද ඒ ආකාරයෙන්ම බලපාන බවත්, මෙවැනි කැබිනට් තීරණයක් ගැනීම කාලෝචිත පියවරක් බවත්ය. දැනට අල්ලස් කොමිසමට නිලධාරීන් 250ක හිඟයක් ඇති බවත්, ගොඩනැගිල්ලේ ඉඩපහසුකම් නොමැති වීම වැනි ගැටලු විසඳීමට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙතෙක් පියවර නොගැනීම කනගාටුදායක තත්ත්වයක් බවත් අවධාරණය කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, වසර ගණනාවක් තිස්සේ විවිධ රාජ්‍ය නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් කොමිසමට පහසුකම් දීමේ උත්සාහයන් පැවතුණත්, ඒවා අසාර්ථක වූ බවද සඳහන් කළේය. ආර්ථික ක්ෂේත්‍රය ඇතුළු විශේෂඥ දැනුම සතු නිලධාරීන් හිඟයද කොමිසමේ කටයුතුවලදී බරපතල ගැටලුවක් වී ඇතැයි ඔහු පැවසීය. මේ නිසා කොමිසමට බලය පැවරීම මෙන්ම කොමිසමේ සම්පත් වැඩිදියුණු කිරීම පිළිබඳවද ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

[නුවන් මහේෂ් ජයවික්‍රම] [දිනුක මලින්ද හේරත්]