ගම්පොළ - උඩ පළාත ප්‍රාදේශීය සභා ගැටුමින් සභාපති විපක්ෂනායක රෝහලේ!

 ඡායාරූපය:

ගම්පොළ - උඩ පළාත ප්‍රාදේශීය සභා ගැටුමින් සභාපති විපක්ෂනායක රෝහලේ!

ගම්පොළ - උඩ පළාත ප්‍රාදේශීය සභා රැස්වීමේදී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ එහි සභාපතිවරයාත්, සිද්ධියෙන් පසු පපුවේ වේදනාවක් හටගත් විපක්ෂ නායකවරයාත් ගම්පොළ ශික්ෂණ රෝහලට ඊයේ (12) ඇතුළත් කෙරිණි.

ගම්පොළ - උඩ පළාත ප්‍රාදේශීය සභාව පිහිටුවීමේදී එහි බහුතර බලය කිසිවකුටත් නොලැබුණ අතර, මේ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව සභාව පිහිටුවීමට කටයුතු කර තිබිණි.

ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාද පොදුජන පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කර තිබුණත්, ඔහුට මෙවර සභාපති ධුරය අහිමි වන බව දැනගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමග එක්ව සභාවේ බලය පිහිටුවීමට උත්සාහ දරා තිබිණි. මේ තත්ත්වය මත සභාව පිහිටවූ දින සිටම ගැටුම් ඇති විය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සභාව මගින් ප්‍රතිපාදන ලබා නොදෙන බව පවසමින් ඊට විරෝධය දැක්වීමට ඊයේ උදෑසන උඩ පළාත ප්‍රාදේශීය සභාව ඉදිරිපිට විපක්ෂ මන්ත්‍රීවරුන් 15 දෙනකු සමග ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක්ද පැවැත්වූහ. ඊයේ සභා රැස්වීමද පැවති නිසා උද්ඝෝෂණයෙන් පසු ඊට සහභාගි වීමට යෑමේදී විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආසන වෙනස් කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් සභාව තුළ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. එහිදී මන්ත්‍රීවරයකු එල්ල කළ බෝතල් ප්‍රහාරයකින් තුවාල ලැබූ සභාපතිවරයා රෝහල්ගත කෙරිණි.

සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වය සමග ගම්පොළ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ආර්. ජයන්ත මහතා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සභාපතිවරයා ආරක්ෂා සහිතව සභාවෙන් ඉවත් කරන ලදි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවේ මේස, පුටු පෙරළමින් කෑ කෝ ගැසීමත්, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඊට පිළිතුරු දීමට යෑමත් නිසා සභාවේ ගැටුම තවත් තීව්‍ර විය. සභාපතිවරයාගේ ඇසකට හානි සිදු වී ඇති බැවින් ඔහු ගම්පොළ රෝහලේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමුකර ඇත. මේ අතර විපක්ෂනායකවරයාගේ පපුවේ වේදනාව සම්බන්ධයෙන්ද පරීක්ෂණ රැසක් සිදු කර ඇත.

[දිල්හාන් විජයානන්ද]

මාතෘකා