තරුණ පරපුරෙන් අඩකට ලිංගික දැනුම නෑ

 ඡායාරූපය:

තරුණ පරපුරෙන් අඩකට ලිංගික දැනුම නෑ

වයස අවුරුදු 15 – 29 අතර මෙරට ලක්ෂ 44ක් වන තරුණ ජනගහනයෙන් සියයට 50කට, එනම් ලක්ෂ 22කට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය සම්බන්ධයෙන් ඇත්තේ සීමිත දැනුමක් බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසයි.

2013 ජාතික තරුණ සෞඛ්‍ය සමීක්ෂණයෙන් ඒ බව හෙළි වී ඇති අතර 2015දී පවුල් සෞඛ්‍ය කාර්යාංශය විසින් නිකුත් කරන ලද දත්ත අනුව මෙරට නව යොවුන් වියේ ගැබ්ගැනීම් සියයට 5.2ක් පමණ සිදු වේ. පළාත් අනුව එම ප්‍රමාණයේ විශාල වෙනස්කම් තිබෙන අතර ඇතැම් පළාත්වල එය සියයට 8-9 මට්ටමේ පවතින බවද ජනගහන අරමුදල පවසයි.

පසුගිය 2017 වසරේ දත්ත අනුව මෙරට එච්.අයි.වී. ව්‍යාප්තිය සියයට 0.01ට වඩා අඩු වුවද තරුණ පරපුර අතර නව ආසාදන වර්ධනය වන බවක් දක්නට ලැබෙන බැවින් පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක් ලබාදීම අත්‍යවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල අවධාරණය කරයි.

ඊයේ (11) දිනට යෙදී තිබූ ලෝක ජනගහන දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන් මහත්මිය මේ බව පැවසුවාය.

ඇය පවසන්නේ තරුණ ප්‍රජාවට නිසි වයසේදී ලිංගික අධ්‍යාපනය ගැන සම්පූර්ණ අවබෝධයක් (පරිපූර්ණ ලිංගික අධ්‍යාපනයක්) ලබාදුනහොත් ඔවුන් අනිසි ලිංගික කටයුතුවලට යොමු නොවන බවය. එහෙත් ඒ පිළිබඳව සමාජයේ ඇත්තේ වැරදි අවබෝධයකි. එනම් ලිංගික අධ්‍යාපනය ලබා නොදෙන තරමට එවැනි දේට තරුණයන් යොමු නොවන බවය.

"පරිපූර්ණ ලිංගික අධ්‍යාපනය තරුණ ජනයාට ස්වයං අභිමානය ගොඩනගාගැනීමටත්, බැරෑරුම් චින්තනය, පැහැදිලි සන්නිවේදනය, වගකීම්සහගත තීරණ ගැනීම සහ ගෞරවනීය චර්යාව දිරිගන්වන ජීවන කුසලතා ගොඩනගාගැනීමටත් උපකාරී වේ. දෙමාපියන් හා අධ්‍යාපනඥයන් ලෙස අපගේ වගකීම වන්නේ තරුණ ප්‍රජාවට නිවැරදි සහ වයසට ගැළපෙන තොරතුරු ලබාදීමයි. එමගින් ඔවුන්ට තම ශරීරය හා ජීවිතය පිළිබඳ තොරතුරු මත තීරණ ගත හැකියි" යයිද සිය නිවේදනයෙන් අවධාරණය කළාය.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා