'රැස' අනාවරණයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විසඳුමක් ලබන වසරේ සිට සෞඛ්‍යාරක්ෂිත පාසල් බෑගයක්

 ඡායාරූපය:

'රැස' අනාවරණයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විසඳුමක් ලබන වසරේ සිට සෞඛ්‍යාරක්ෂිත පාසල් බෑගයක්

පාසල් සිසු-සිසුවියන් සඳහා සෞඛ්‍ය නිර්දේශානුකූල පාසල් පොත් බෑගයක් අලුතෙන් විවෘත වෙළෙඳපොළට හඳුන්වා දීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ඒ අනුව ලබන වසර මුල සිට එය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා 'රැසට' පැවසීය.

"මේ බෑගය නිර්මාණය කළේ වෛද්‍ය කපිල ජයරත්න මහතා ඇතුළු පිරිස. දැන් තියෙන පාසල් පොත් බෑගය විද්‍යාත්මකව හදලා නැති නිසා පිට කොන්දෙ අමාරු එනවා. මේ අධික බර බෑගය නිසා තමයි සියයට දෙකක පිරිසකට 'ස්කෝලියෝසිස්' කියන රෝගය ඇතිවෙන්නේ. මේ බෑගය හදන්න මුලින්ම 2008 – 2009 වර්ෂවල කටයුතු කළත් ක්‍රියාත්මක වෙලා නැහැ. දිවයින පුරා පොත් බෑග් නිෂ්පාදකයන් ගෙන්නලා ඔවුන්ව දැනුවත් කිරීමෙන් පසුව, ප්‍රමිතියකින් යුතු පොත් බෑග් නිර්මාණය කිරීමට ඔවුන් එකඟ වෙලා තියෙනවා." ඇමතිවරයා ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඒකාබද්ධව මෙම බෑගය නිර්මාණය කර තිබෙන අතර මස්පිඩු හා හන්දිවල වේදනා ඇති වීම, ඉක්මනින් විඩාවට පත්වීම, කොඳුඇට පෙළෙහි ආබාධ ඇතිවීම, උරහිස පහත්වීම, අනතුරුවලට ලක්වීම, මානසික පීඩාවට පත්වීම අවම කරගැනීම සඳහා මෙම පොත් බෑගය නිර්මාණය කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි.

ඒ අනුව සෞඛ්‍යානුකූල පාසල් පොත් බෑගය සඳහා ලාංඡනයක් හා ලියාපදිංචි අංකයක්ද හඳුන්වා දීමට නියමිතය.

"මේ බෑගයේ ඇති විශේෂත්වය වන්නේ බෑගයේ ඇති බර වැඩිම පොත් පිටකොන්දට හේත්තු වෙන කොටසටත්, බර අඩු පොත් එළියට ඇති කොටසටත් අහුරනවා. විශිෂ්ට ගුරුත්වයට අනුව පිටකොන්දට එන සම්පූර්ණ බර ඒ හේතුවෙන් එන්නේ නැහැ. ඒ වගේම බෑගයේ පටිදෙක පැඩින් යොදා සකස් කර තිබෙනවා. ඒ නිසා පිටට අපහසුවක් දැනෙන්නේ නැහැ. අපි මේ බෑග් නිෂ්පාදනය මේ වසරේ අවසන් කරලා ඊළඟ වසරේ මුල සිට සෑම පාසලකටම භාවි‍ෙ කරන්න උපදෙස් දෙනවා." යැයි ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

[නදී මාණික්කගේ]

මාතෘකා