කාලෝගෙන් පස්සේ කවුද? වෛද්‍ය සභාවට අද තීරණාත්මකයි | ඇස පාදන රැස


කාලෝගෙන් පස්සේ කවුද? වෛද්‍ය සභාවට අද තීරණාත්මකයි

 ඡායාරූපය:

කාලෝගෙන් පස්සේ කවුද? වෛද්‍ය සභාවට අද තීරණාත්මකයි

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ධුර කාලය නිමවීමත් සමග වෛද්‍ය සභා නව සභාපතිවරයා පත් කරගැනීම සඳහා පැවැත්වෙන නිලවරණය සඳහා අද (24) දිනය ඉතා තීරණාත්මකය.   
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා පත් කිරීමට පැවැත්වෙන ඡන්ද විමසීමේ අවසන් දිනය අද වේ.

නිලවරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේදී ඊයේ (23) සහ අද කොළඹ 10, මරදාන පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභා මූලස්ථානයේදී පැවැත්වේ.   

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියත්, ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය සංකල්ප මාරසිංහත් මෙම නිලවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන පාර්ශ්ව ද්විත්වය වන අතර නිලවරණය සඳහා සහභාගි වන සමස්ත අපේක්ෂකයින් සංඛ්‍යාව 13 දෙනෙකු වේ.   

නිලවරණයෙන් අනතුරුව තරඟකරුවන්  සිව් දෙනෙකු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලධාරී තනතුරු හතරකට තෝරා පත් කරගැනීමට නියමිතය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වෛද්‍යවරුන් 27,500ක් සුදුසුකම් ලබා ඇති අතර රජයේ, පෞද්ගලික සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන වෛද්‍යවරු ඒ අතර සිටිති.   

මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා පැවසුවේ අන් කවරදාකටත් වඩා අපක්ෂපාති, දූෂණ වංචාවලින් තොර සාධාරණ නිලවරණයක් මෙවර පැවැත්වෙන බවය.   

නිලවරණය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසන්නේ නිලවරණයේ වැඩි වාසිය සිය පාර්ශ්වය සතු බවයි.