පේරාදෙණිය රග්බි ගැටුමේ සිසුන් 9ක් රිමාන්ඩ්

 ඡායාරූපය:

පේරාදෙණිය රග්බි ගැටුමේ සිසුන් 9ක් රිමාන්ඩ්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ දෙවන වසරේ සිසුන් පිරිසකට විශ්වවිද්‍යාලීය රග්බි පිටිය ආසන්නයේදී ඉකුත් 15 දින අමානුෂික ලෙස පහර දුන් බව කියන කළමණාකරණ පීඨයේ දෙවන වසරේ සිසුන් 09 දෙනකු පොලීසිය විසින් ඊයේ (23) මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකාර සිසුන් මෙම මස 25 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.

විශ්වවිද්‍යාලයේ නවක වදයට එරෙහි සිසු පිරිසකට නවක වධයට පක්ෂ සිසු පිරිසක් පහර දීම නිසා මෙම ගැටුම ඇතිව තිබෙන බව පොලීසිය පවසයි.

සිද්ධියෙන් පසු විද්‍යා පීඨයේ සිසුන් දෙදෙනෙකු තුවාල ලැබ පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර ඔවුන් මේවන විට සුවය ලැබ රෝහලින් පිටව ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහචාර්ය උපුල් දිසානායක මහතාගේ උපදෙස් මත විශ්වවිද්‍යාල විනය පාලකවරයා විසින්ද පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

[අසේල කුරුළුවංශ]