ජනපතිට තවත් දින 1061ක්

 ඡායාරූපය:

ජනපතිට තවත් දින 1061ක්

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයක් දක්වා පවත්වාගෙන යා හැකි බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

2015 ජනාධිපතිවරණයේදී ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ වසර හයක් සඳහා පත්වන ජනාධිපතිවරයකුට බවත්, එම නිසා ඉන්පසු පාර්ලිමේන්තුවේදී සම්මත කළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් කරුණු වර්තමාන ජනාධිපතිවරයාට අදාළ නොවන බවත් නීතිපතිවරයා විසින් සඳහන් කර ඇත. ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමේදී මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව දැනුවත්ව නොසිටි බව ද පවසා ඇති නීතිපතිවරයා, මේ නිසා වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වන්නේ වර්ෂ 2021 න් පසුව බව ද පවසා ඇත.

මේ අතර නීතිපතිවරයා වැඩිදුරටත් දන්වා ඇත්තේ යම් අවස්ථාවක වර්තමාන ජනාධිපතිවරයා සිය ධුරය අත්හැරියහොත්, ඊළඟ වසර තුනක කාලයට වෙනත් ජනාධිපතිවරයකු පත්කර ගත හැකි බවයි. ඔහුගේ ධුර කාලය ද වර්තමාන ජනාධිපති ධුර කාලයේ ද කොටසක් වන නිසා එය 2021 වර්ෂය දක්වා පවතින බව නීතිපතිවරයා පවසා ඇත.

ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා ඇතුළු නීතීඥ කණ්ඩායමක් වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකින් අවසන් වන බවට තර්ක කළහ.

ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලය අවසන් වන්නේ 2020 දී ද, 2021 දී ද යනුවෙන් අර්ථකතනයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි. ඊට ප්‍රතිචාර වශයෙන් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කෙරුණු අතර, එම විනිසුරු මඩුල්ල මීට අදාළ ලිඛිත දේශන ගොනුකිරීමට අද පස්වරු 12 දක්වා කාලය ලබා දී තිබේ. ඉන්පසු ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනාධිපතිවරයා වෙත දැනුම්දීමට නියමිත ය.

මාතෘකා