දෙමළ සන්ධානයට අභියෝගයක්

දෙමළ සන්ධානයට අභියෝගයක්

 දෙමළ ජාතික සන්ධානය තුළ පසුගිය වකවානුවේදී සිදුවූ අභ්‍යන්තර දෙදරීම හේතුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයේදී සැලකිය යුතු පසුබෑමකට මුහුණ දී ඇති අතර උතුරු පළාතේ තරඟකාරී පක්ෂ ගණනාවක අභියෝගයට ලක් වී ඇති බව උතුරු පළාතේ දේශපාලන මූලාශ්‍ර අනාවරණ කරයි. 

මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ දෙමළ ජාතික සන්ධානය පසුබෑමට ලක් වී ඇති බවත් ආණ්ඩු පක්ෂයට සහය දක්වන ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊපීඩීපීය දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත් වී ඇති බවත් වාර්තා වේ. 


මේ වන විට මැතිවරණ ව්‍යාපාරයේදී ඊපීඩීපීයට ලැබෙන ජනතා ප්‍රතිචාර ඉතා සාධනීය වන බවත් උතුරු දේශපාලනයේ ජ්‍යෙෂ්ඨයකු වන ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ හෙවත් ඊපීආර්එල්එෆ් දෙමළ ජාතික සන්ධානයට ඡන්දය නොදෙන ලෙස ජනතාව වෙත ආයාචනා කරමින් සිටින බවත් වාර්තා වේ. තවද ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුතුව මැතිවරණයට තරඟ කරන දෙමළ ජාතික ජනතා පෙරමුණද ටීඑන්ඒට එරෙහිව සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර ඇත. 
ඊපීආර්එල්එෆ් නායක ආනන්ද සංගරී පැවසුවේ මැතිවරණයේදී තමන්ට සහය නොදුන්නද දෙමළ ජාතික සන්ධානයට ඡන්දය නොදෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවය. 


"දෙමළ ජාතික සන්ධානය ජනතාවට බොරු පොරොන්දුයි දුන්නෙ. මම ඉල්ලා සිටින්නෙ ටී එන් ඒ එකට විරුද්ධව ඡන්දය දාන්න. ඒ අය බොරු කිව් නිසා ජනතාව කොහොමත් ඡන්දය දමන්නේ නෑ." යැයි ඊපීආර්එල්එෆ් නායකයා පැවසීය. 


පළාත් පාලන මැතිවරණයේ වත්මන් තත්ත්වය පිළිබඳව 'රැස' වෙත අදහස් දක්වමින් ඊපීඩීපීයේ මාධ්‍ය ප්‍රකාශක නෙල්සන් එදිරිසිංහ මෙසේ ප්‍රකාශ කළේය. 
"අපි උතුරු හා නැගෙනහිර දෙපළාතේ ප්‍රාදේශීය සභා 40කට තරඟ කරනවා. ටී එන් ඒ එක පසුබැහැලා. ඔවුන් 77 ඉඳන් ජනතාවට බොරු කළා. 'ෆෙඩරලිස්ම්' ගැන කියමින් ටීඑන්ඒ එක ජනතාවට බොරු කළා. ඒ අයගේ පක්ෂ දෙකඩ වීමෙන් මැතිවරණෙදිත් ඒ අය පසු බැහැලා ඉන්නේ. අපි ආණ්ඩුවට හිතවත්ව මධ්‍යම ආණ්ඩුව සමග සහයෝගෙන් ගිහින් ජනතාවට කරන සේවය ගැන ඔවුන්ට විශ්වාසයි." යැයි ඔහු පැවසීය. 


එසේ වුවද දෙමළ ජාතික සන්ධානය පසු නොබැස ඇති බව අවධාරණය කරමින් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් 'රැස'ට මෙසේ පැවසීය. 


"අපි මැතිවරණෙදි ගෙවල්වලට යමින් ඉන්නවා. ලබන සතියේ අපි අපේ ප්‍රධාන රැළිය පැවැත්වීමට සූදානම්. අපි කැමතියි අලුත් ඡන්ද ක්‍රමය නිසා අලුත් පක්ෂ කොට්ඨාසවලට පත් වෙනවා නම්. ඒත් ටී එන් ඒ පසුබැහැලා නෑ. ඒක පෙබරවාරි දහවෙනිදාට අපි අපි පසු බැහැලයි කියන අයට බලා ගන්න පුළුවන්. ඒක අපි පෙන්වනවා." යැයි සිවාජිලිංගම් මන්ත්‍රීවරයා පැවසීය.

මාතෘකා