ජාතික ආණ්ඩුව දිගටම

 ඡායාරූපය:

ජාතික ආණ්ඩුව දිගටම

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දෙපාර්ශ්වයේ එකඟතාව අනුව ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යන බව ඊයේ (21) යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන දෙපාර්ශ්වය විසින් පාර්ලිමේන්තුවේදී අවධාරණය කරනු ලැබිණි.
ඒ අනුව ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගුභාවයේ පවතින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

අගමැතිවරයාගේ ප්‍රකාශය අනුමත කරමින් ආණ්ඩුවේ සම හවුල්කාර පාර්ශ්වය වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, ධීවර ඇමති මහින්ද අමරවීර මහතාද ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය හා පවතින ගිවිසුම අවසන් වී නොමැති බවත්, එම ගිවිසුම් ප්‍රකාරව යහපාලන ආණ්ඩුව තවදුරටත් එක්ව කටයුතු කරන බවත්ය. පළාත්පාලන මැතිවරණයෙන් අනතුරුව යහපාලන ආණ්ඩුවේ අනාගතය පිළිබඳව කතානායක කරු ජයසූරිය මහතා විසින්ද විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබුණද අගමැතිවරයාගේ සහ එජනිස මහලේකම්වරයාගේ ප්‍රකාශ නිසා එම ප්‍රකාශය සිදු කළේ නැත.

යහපාලන ආණ්ඩුවේ දෙපාර්ශ්වය අතර පැවති අවබෝධතා ගිවිසුම අවසන් වූයේ පසුගිය දෙසැම්බර් 31වැනිදාය. එසේ වුවද පළාත් පාලන මැතිවරණය අවසන් වන තෙක් අදාළ ගිවිසුම යළි දීර්ඝ කෙරුණු අතර, පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව දේශපාලන ක්ෂේත්‍රයේ අනපේක්ෂිත කැලඹීමක් ඇති විය. එහිදී ජාතික ආණ්ඩුව තුළ පැහැදිලිව දෙපාර්ශ්වය වෙන්ව ගමන් කරන බවට ඉඟි පළ කෙරිණි. එසේ වුවද පැවති ගිවිසුම් අලුත් කරමින් ජාතික ආණ්ඩුව සඳහා ඉදිරියේදී නව ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බවටද මාධ්‍ය  වාර්තා පළ විය.

මේ අතර ඊයේ (21) දිනයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ කැබිනට් සංශෝධනය අද (22) දිනයේදී බොහෝදුරට සිදු කෙරෙනු ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.