අලුත් කැබිනට්ටුව අනිද්දා දිව්රුම් දෙයි

 ඡායාරූපය:

අලුත් කැබිනට්ටුව අනිද්දා දිව්රුම් දෙයි

ලබන බදාදා (21) නව කැබිනට් මණ්ඩලය පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර ඊයේ (18) පස්වරු 6.15 සිට පැය එක හමාරක කාලයක් පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කර තිබේ. ඒ අනුව කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ඇමැති ධුර රැසක් වෙනස්වීමට නියමිතය. පසුගිය කාලයේදී ආන්දෝලනයට තුඩුදුන් සිදුවීම් රැසකට සම්බන්ධ අමාත්‍යංශ කිහිපයක් මේ අතර වන බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග තහවුරු කරයි.

මේ අතර පසුගිය සිකුරාදා රාත්‍රියේ වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී පවත්වා ඇත. එම සාකච්ඡාවට එජාපයේ ප්‍රබල ඇමැතිවරුන් තිදෙනකු සහභාගි වී ඇති අතර, තීරණාත්මක කැබිනට් සංශෝධනයට අදාළ මූලික යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ එහිදීය. ආණ්ඩුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමටත්, පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵලයත් සමග පළුදු වූ ජනතා විශ්වාසය නැවත ලබාගැනීමටත් කැබිනට් ප්‍රතිසංස්කරණ කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය වී ඇත.

පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵලයත් සමග අගමැති ධුරය වෙනස් වන බවට මාධ්‍ය වාර්තා පළවූ අතර, ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ තීරණාත්මක කාර්යභාරය සිදු කරනු ඇති බවට දේශපාලන විශ්ලේෂකයන් විසින්ද අනාවැකි පළකරනු දක්නට ලැබිණි. කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයෙන්ද මේ සම්බන්ධයෙන් විවිධ මත පළ විය. ඒ අතර ආණ්ඩුව නියෝජනය කරන සහ නියෝජනය නොකරන සුළු පක්ෂ විසින්ද අගමැති ධුරය පිළිබඳව තම-තමන්ගේ මතයන් ප්‍රකාශ කර තිබූ අතර, විශේෂත්වය වන්නේ ජනාධිපතිවරයා මේ පිළිබඳව නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් නොකිරීමය. පසුගිය සිකුරාදා පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අගමැතිවරයා විසින් ජාතික ආණ්ඩුව කිසිදු ගැටළුවක් නොමැතිව ඉදිරියට යන බව අවධාරණය කර තිබිණි.

[කාශ්‍යප දිසානායක]