මධ්‍යම කඳුකරය යළි නායයෑමේ අවදානමක

 ඡායාරූපය:

මධ්‍යම කඳුකරය යළි නායයෑමේ අවදානමක

මේ දිනවල මෙන්ම ඉදිරි දිනවලත් පැවතිය හැකි වැසි තත්ත්වය සහ තද සුළං තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකර ප්‍රදේශවල වෙසෙන ජනතාව නායයෑම් ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ඉහළ කොත්මලේ, කැනි‍යොන්, නෝර්ටන් බ්‍රිජ් හා පොල්ගොල්ල, මවුස්සාකැලේ යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ඒ අනුව කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක්ද, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක්ද පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක්ද විවෘත කර ඇත. වැසි ඇද හැලීම තවදුරටත් සිදු වුවහොත් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමක් සිදු වන බවත් ඒ අවට සිටින ජනතාවද අවධානයෙන් පසු වන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දිවයින පුරා මධ්‍යම, සබරගමු, වයඹ‚ උතුරු මැද සහ උෟව පළාත්වලත් හම්බන්තොට සහ මඩකපුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළං තත්ත්වය පැ.කි.මී. 60 දක්වා තද සුළං තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව කී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහහකාර අධ්‍යක්ෂවරයා, මධ්‍යම සහ සබරගමු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවල මිලි.මී. 100 දක්වා තද වැසි ඇති විය හැකි අතර කුරුණෑගල, ගාල්ල, මාතර, කොළඹ, ගම්පහ ප්‍රදේශවල මි.මී. 75ට වඩා වැසි ඇති විය හැකි බවත් අවධාරණය කළේය.

[තියේෂා ද සිල්වා] [දීපිකා සිරිවර්ධන]

මාතෘකා