අවුරුද්දෙන් පසු සර්ව පාක්ෂික ආණ්ඩුවක්

 ඡායාරූපය:

අවුරුද්දෙන් පසු සර්ව පාක්ෂික ආණ්ඩුවක්

උදා වන අලුත් අවුරුද්දෙන් පසු රටක් ලෙස සිතා පක්ෂ දේශපාලනය ගැන නොසිතා රට ඉදිරියට ගෙන යෑමට  සියලු පක්ෂ එක්ව කටයුතු කිරීම පිළිබඳ සාකච්ඡාවක් මේ වනවිට සියලු පක්ෂ අතර සිදු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර ඇමැතිවරයා පැවසීය.
මහින්ද අමරවීර ඇමැතිවරයා මේ බව පැවසුවේ ඉන්දියානු රජයේ ආධාර මත රුපියල් මිලියන 300ක මුදලක් වැය කර හම්බන්තොට දිස්ත්‍රිකයේ ජනතාවට පාපැදි, මහන මැෂින් උදලු තල බෙදාදීමේ උත්සවයකට ඊයේ (09) එක් වෙමිනි. අම්බලන්තොට නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති උත්සවයට මෙරට ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා ප්‍රමුඛ ආරාධිත පිරිසක්ද සහභාගි වූහ.
පසුගිය දිනක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිටීමට තමන් ඇතුළු
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 25දෙනකු තීරණය කළ බවත්, ඊට හේතු වූයේ විශ්වාසභංගය අගමැතිවරයාට එරෙහිව පමණක් නොව ආණ්ඩුවටම එරෙහිව ඉදිරිපත් කිරීම බවත් පැවසූ ඇමැතිවරයා, විශ්වාසභංගයෙන් පසු ඇති වී තිබෙන දේශපාලන තත්ත්වයට හොඳම විසඳුම වන්නේ සියලු පක්ෂවල එකඟත්වයෙන් පිහිටුවනු ලබන ආණ්ඩුවක් බවද සඳහන් කළේය.
මේ අතර අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් සිදු කරන බව පැවසුණද, අවුරුද්දෙන් පසු එය සිදු වනු ඇති බවත්, එහිදී ප්‍රධාන ඇමැති ධුර රැසක් වෙනස් වනු ඇති බවත් ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මාතෘකා

ජනප්‍රිය ලිපි