අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් : එජාප නායකත්වය වෙනස් නොවේ

 ඡායාරූපය:

අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් : එජාප නායකත්වය වෙනස් නොවේ

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නොවන බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියටත් පක්ෂ නායකත්වයේ සිටින බවත් එජාප නියෝජ්‍ය මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා ‘රැස’ට පැවසීය.

පසුගිය 06 වැනිදා රැස් වූ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී බහුතරයේ කැමැත්ත අනුව එම තීරණය ගත් බවද ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව පත් කර ගැනීම සඳහා ඊයේ (08) රහස් ඡන්දයක් පැවැත්වූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ට හැර ඉතිරි සියලුම මන්ත්‍රීවරුන්ට මෙහිදී ඡන්දය දීමට අවස්ථාව ලැබුණු බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මේ රහස් ඡන්දයෙන් තමන් ඇතුළුව මංගල සමරවීර, ගයන්ත කරුණාතිලක, නවීන් දිසානායක, රංජිත් මද්දුම බණ්ඩාර, හරීන්  ප්‍රනාන්දු, රුවන් විජයවර්ධන, එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, ජේ.සී. අලවතුවල, නලීන් බණ්ඩාර, අශෝක ප්‍රියන්ත යන මැති-ඇමතිවරුන් ප්‍රතිසංවිධාන කමිටුවට පත්වූ බවද ඇමැතිවරයා පැවසීය.

මේ අතර සිංහල-හින්දු අලුත් අවුරුද්දට පෙර කැබිනට් මණ්ඩලයේ වෙනසක් සිදුවන බවත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පෙරේදා තීරණාත්මක සාකච්ඡාවක් පැවැති බවත් එජාප නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි. එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමැතිවරුන් සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැයි එජාපය බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.

(අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා සමග කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව 06 පිටුවේ.)


ජනප්‍රිය ලිපි