සුළු ව්‍යාපාර වර්ධනයට අත්වැලක් වෙනවා - අගමැති කියයි

 ඡායාරූපය:

සුළු ව්‍යාපාර වර්ධනයට අත්වැලක් වෙනවා - අගමැති කියයි

සුළු ව්‍යාපාර ආරම්භ කිරීම තුළින් ගම දියුණු වන අතර ආර්ථික වශයෙන් ගමේ පුද්ගලයන් ශක්තිමත් කරවීම සහ තරුණ තරුණියන් හට රැකියා අවස්ථා බිහිකිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් වඩාත් විධිමත්ව මේ වසර තුළදීත්, ඉදිරියේදීත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.  
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය (01) දින පැවැති "ව්‍යවසාය 2018" ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.  
අගමැතිවරයා වැඩිදුරටත් ෙමෙස්ද පැවසීය.
“රටේ සුළු ව්‍යාපාර වර්ධනය වීමත් සමගම අපේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ සුළු හා මධ්‍යම මට්ටමේ ව්‍යාපාරිකයින් ශක්තිමත් කොට දියුණු කිරීමටයි. අලුතින් ව්‍යාපාරිකයන් බවට පත්වුණ අය මෙන්ම, කාලයක් තිස්සේ සුළු ව්‍යාපාරිකයින් වශයෙන් කටයුතු කළ අයත්, මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයින් වශයෙන් කටයුතු කළ අය ඇතුළු කණ්ඩායම් දෙකම අද මේ ප්‍රදර්ශනය නියෝජනය කරනවා. මේ සියලු දෙනා සාර්ථකත්වය ළඟා කර ගත් අය බව කිව යුතුයි.   
“එමෙන්ම මෙවැනි සුළු ව්‍යාපාරිකයින් රැසක් ග්‍රාමීය ප්‍රදේශවලද සිටිනවා. අපේ ප්‍රධාන අරමුණක් වන්නේ මේ ව්‍යාපාරවලට අතහිත දීමයි. මේ ව්‍යාපාර තව තවත් දියුණු කිරීමට අවශ්‍ය පූර්ණ සහය ලබා දිය යුතුයි. රටේ ශක්තිය වන්නේ මේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයිනුයි. ඔවුන් විදේශකයින් නොවෙයි. අපේම අයයි. එම නිසා අපි අපේ බැංකුවල සම්පත් මේ කණ්ඩායම්වලට ලබා දිය යුතුයි. නමුත් අවාසනාවකට දෝ අපි බලාපොරොත්තු වූ අන්දමට මේ අයට බැංකුවලින් මුදල් ලබාදීම සිදු වී නැහැ. එම නිසා මේ අවුරුද්දේත්,  ඉදිරි වර්ෂවලදීත්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට බැංකුවලින් කඩිනමින් ණය මුදල් ලබාදීමට අපි කටයුතු කරනවා.   
“එසේ මූල්‍ය පහසුකම් ලබාදෙනවා පමණක් නොව, එම ප්‍රමාණයන් වැඩි කිරීමටත්, උපදේශක සේවා ලබාදීමටත්, කටයුතු යොදන බව ප්‍රකාශ කිරීමට කැමැතියි. මෙහි සිටින ඇතැම් ව්‍යාපාරිකයන් තමන්ගේ නිෂ්පාදන හා නිර්මාණ වෙනස් කිරීම තුළින් අලෙවිය හා ආදායමත් වැඩිකර ගන්නවා. විදේශ රටවලට ගොස් ව්‍යාපාර කටයුතු අධ්‍යයනය කරන්නට, විදේශ ව්‍යවසායකයින් මගින් දේශීය ව්‍යවසායකයින් පුහුණු කරන්නට, දිවයින පුරා විසිරී සිටින ව්‍යාපාරිකයන් හට අලෙවි පහසුකම් ලබාදීමටත් අප කැපවී සිටිනවා.   
“එම නිසා ව්‍යාපෘති කළමනාකරණ අමාත්‍යංශ, ආර්ථික කටයුතු අමාත්‍යංශය හා මුදල් අමාත්‍යංශය ඒකාබද්ධව ඒ වැඩසටහන ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. අපට අවශ්‍ය වන්නේ තමන්ගේ ශක්තියෙන් ඉදිරියට යාමට හැකි, ලෝකයට මුහුණදිය හැකි ව්‍යාපාරිකයන් පිරිසක් ගොඩනැගීමටයි. මෙහි සිටින ඇතැම් ව්‍යාපාරිකයන් දේශීය වශයෙන් පමණක් නොව, ජාත්‍යන්තර වශයෙන්ද ජයග්‍රහණ අත්කර ගෙන තිබෙනවා. ලෝක වෙළෙඳ පොළටද ප්‍රවිෂ්ඨ වී සිටිනවා. අනිකුත් ව්‍යාපාරිකයන්ද ලෝක වෙළෙඳපොළ ජයගැනීම සඳහා අපෙන් ආධාර උපකාර ඉල්ලුවා. මම ඒ පිළිබඳ ඉතා සතුටට පත් වෙනවා. අපි ඒ අයට උදව් කරන්න කැමැත්තෙන් සිටිනවා. අපට අවශ්‍යව ඇත්තේ, ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගන්නා ලොකු, කුඩා භේදයකින් තොර ව්‍යාපාරික ප්‍රජාවක් බිහි කිරීමයි.   
“ගමේ ව්‍යාපාර ආරම්භ කිරීම තුළින්, ගම දියුණු වෙනවා. ආර්ථික වශයෙන් ගමේ පුද්ගලයන් ශක්තිමත් වෙනවා. තරුණ තරුණියන්ට රැකියා අවස්ථා බිහිවෙනවා. මේ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ක්‍රමවේදයන් වඩාත් විධිමත්ව මේ වසර තුළදීත් ඉදිරියේදීත් ක්‍රියාත්මක කිරීමට ප්‍රතිඥා දෙමින් මේ ප්‍රදර්ශනය සඳහා සහාය දුන් සැමට ස්තූති කරනවා.”

මාතෘකා