ගොවිජනපද නිසා නව සංස්කෘතියක් බිහිවුණා - ජනපති කියයි

 ඡායාරූපය:

ගොවිජනපද නිසා නව සංස්කෘතියක් බිහිවුණා - ජනපති කියයි

ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ගොවිජනපද ප්‍රතිපත්තිය තුළින් නව ගොවිජනපද සංස්කෘතියක් බිහි වූ බවත්, ඇති නැති පරතරය එයින් ඉවත් වී රජරට, නැගෙනහිර පළාත තුළ ගොවි සංස්කෘතියක් බිහි වූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.  
ජනාධිතිවරයා මේ බව පැවසුවේ පසුගියදා (30) පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට නීත්‍යානුකූල ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.  
“මානව සමාජයේ දීර්ඝතම ඉතිහාසය තුළ මිනිසුන් අතර සටන් වලට මුල් වුණේ ඉඩම් පිළිබඳ අයිතියයි. අතීතයේ ඉඩම් හිමි රඳල පැළැන්තිය, ලෝකයේ රටවල්වල ධනේෂ්වර පන්තිය මහා විශාල ඉඩම් හිමියන් බවට පත් වෙමින්, ඒවා අත්පත් කර ගනිමින්, තම ධනය සහ බලය තුළ මිනිසුන් පීඩාවට පත් කිරීමේ ඉතිහාසයක් මුළු ලෝක ඉතිහාසයේම ඉඩම් පිළිබඳ කතා කිරීමේදී කියවෙනවා. ඇති නැති පරතරය මෙන්ම ලෝකයේ මිනිසාගේ සටන්වල ආරම්භය සිදු වුණේ ඉඩම් මුල් කර ගනිමින් බව මාක්ස්වාදය තුළ බොහෝම පැහැදිලිව කියනවා. බ්‍රිතාන්‍ය පාලනයට අපේ රට යටත්ව තිබූ යුගයේ ඉංග්‍රීසි පාලකයෝ මුඩුබිම් පනත සම්මත කරලා සාමාන්‍යය ජනතාවගේ ඉඩම් රජයට අරගත්තා වගේම, මහා ධනපතින්ට, රදලයින්ට ඒවා ලබාදුන්නා. මහා ව්‍යාපාරිකයින්ට ලබාදුන්නා. ඔවුන් අදත් භූක්තිවිඳින ඇතැම් ඉඩම් සාමාන්‍ය පොදු ජනතාවගේ ඉඩම්.   
“ඩී.එස්. සේනානායක අගමැතිතුමාගේ ගොවිජනපද ව්‍යාපාරය මේ රටේ ඉඩම් පිළිබඳව ඓතිහාසික පෙරළියක් ඇති කළ අවස්ථාවක්. වසර තිහක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ යුද්ධය තුළත්, උතුරු නැගෙනහිරින් ත්‍රස්තවාදීන් උතුරු මැද පළාතට, රට ඇතුළට වගේම, අනිත් පැත්තෙන් වයඹ, පුත්තලම පළාතට ඌව පළාතට ඇතුළුවෙන්න තිබුණු ඉඩකඩ ඇසුරුණේ මිනිස් පවුරක් විදියට ජනපදවල ජීවත්වුණු මිනිසුන් ඒවාට මුහුණදුන්න නිසයි. ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ගොවිජනපද ප්‍රතිපත්තිය තුළින් නව ගොවිජනපද සංස්කෘතියක් බිහිවුණා. ඇති නැති පරතරය එයින් ඉවත් වුණා. රජරටත් වගේම නැගෙනහිර පළාත මුල් කරගත් ඉඩම් ප්‍රතිපත්තියේදී වඩාත් සතුටු වියහැකි කරුණු රාශියක්තිබෙනවා. මේ ඉඩම් සඳහා පැමිණි සෑම කෙනෙක්ම රටේ විවිධ ප්‍රදේශවල විවිධ මාදිලියේ ආර්ථීක පසුබිම් සහ සමාජ සංස්කෘතික පසුබිම්වල අය. අපේ රටේ සංස්කෘතියේ තවමත් ඇතැම් දුර්වල අංශ තිබෙනවා. කුලවාදය, කුල භේදය වගේ දේවල්. පිටස්තරින් පැමිණි සෑම කෙනෙක්ම එක් කෙනෙකුට ලැබුණු සමාන ඉඩම් ප්‍රමාණයත් එක්ක ඒ ගමේ ඒ සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් ජීවත් වන එකම ආර්ථීක පසුබිමක පිරිසක් බවට පත්වුණා. ආගම, කුලය, භාෂාව ඒ සියල්ලම ගොවි ජනපද සංකල්පය තුළ ඉවත් වුණා. ඒ තුළ තමයි ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ගොවිජනපද ව්‍යාපාරයේ විශාල වැදගත්කමක් ඇති වුණේ. ඉන්පසුව මහවැලි සංවර්ධන ව්‍යාපාරය තුළ ගාමිණි දිසානායක ඇමතිතුමා  නව මහවැලි ශිෂ්ටාචාරයක් ඇති කළා.   
“ඉඩම් පිළිබඳව කටයුතු කරන මේ රටේ සියලු අංශ පිළිබඳ ජනතාවගේ තිබෙන්නේ ප්‍රසාදයක් නොවෙයි. ඒක අද ඊයේ ප්‍රශ්නයක් නොවෙයි. ඉඩම් අමාත්‍යාංශය වේවා, ප්‍රදේශීය ලේකම් කාර්යාල, පළාත් ඉඩම් කොමසාරිස් කාර්යාල වේවා, මහවැලි ඉඩම් කාර්යාල වේවා, මේ සෑම ඉඩම් අංශයකම කටයුතු පිළිබඳ ජනතාවගේ ප්‍රසාදයක් නැහැ. ඒක අපි විශේෂයෙන් හිතන්නට ඕනෑ. මහවැලි ගොවි ජනපදවල එක ඉඩමට තුන්දෙනාට ඉඩම්වල බලපත්‍රය දීලා තිබෙනවා. පොළොන්නරුවේ නව නගරයේ ප්‍රශ්නයක් තිබෙනවා. උදේ ගෙදරින් පිටවෙන්න එනකොටත් ඒ පවුල්වල අය ආවා. මෙවැනි ප්‍රශ්නවලදී මානුෂිකත්වය විශේෂයෙන් සලකන්නට ඕනෑ. නැත්නම් අහිංසක දරුපවුල් ගණනාවක් මහපාරට වැටෙනවා.   
“ඉඩම් අංශ සම්බන්ධයෙන් පොදුවේ ගත් කළ රටේ ජනතාවගේ පැහැදීමක් නැහැ කියලා අපි දන්නවා. ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, කොමසාරිස්වරු මේ ප්‍රශ්න පිළිබඳව උත්සාහයෙන් කටයුතු කරනවා. මූලික වශයෙන්ම අහිංසක දුප්පත් ජනතාවගේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නවලදී දේශපාලන පක්ෂ භේදයෙන් තොරව ඒ සමාජ සාධාරණත්වය මිනිසුන්ට ඉෂ්ටවෙන්නට ඕනෑ. එය අපි සෑම කෙනෙකුගේම වගකීමක්. ඒක ඉෂ්ට වෙන්නේ රුපියල් ශත වලින් නම්, ඒක ඉෂ්ට කරන්නේ වෙනත් සම්පත් ලබාගෙන නම්, ඒක ඉෂ්ට කරන්නේ වෙනත් දූෂිත ආකාරයෙන් නම්, ඒක ඉෂ්ට කරන්නේ අවිනීත ආකාරයෙන් නම්, අපි රජයක් විදියට මොන ප්‍රතිපත්ති හැදුවත්, ආයතන ප්‍රධානීන් මොන විදිහේ කටයුතු කරන්න ගියත්, පහළ සිද්ධවෙන සිදුවීම් සීලාචාරකමින් ඉතාමත් බැහැර වුණු දේවල්. ඉඩම් පිළිබඳව කතා කළොත් කඳුළු වැටෙන දේවල් කියන්න පුළුවන්. ඒවා ඊයේ, පෙරේදා සිද්ධ වුණු දේවල් නොවෙයි.   
“උසාවිවල නඩු ගොඩගැහිලා තිබෙන්නේ ඉඩම් ආරවුල් එක්ක. භික්ෂූන් වහන්සේලා, සාමාන්‍ය ජනතාව, රජයේ නිලධාරීන් ඉඩම් ආරවුල් වලදි මොනතරම් උසාවි යනවද?. ඉඩමක් පිළිබඳ නිරවුල් තීන්දුවක් දෙනවිට හැමවේලේම එය ඉතාම සාධාරණ තීන්දුවක් වෙන්න ඕනෑ. එහෙම නැත්නම් මුළු පරම්පරාවක් එළියට යනවා. මුළු පරම්පාරවක් පාරට වැටෙනවා. ඉතාම අවංකව නිවැරදිව තීන්දු ගත යුතු දේවල් තමයි ඉඩම් පිළිබඳ ආරවුල් නිරවුල් කිරීම, ඔප්පු ලබාදෙන විට ඒ පිළිබඳ අවශ්‍ය පසුබිම කොයි ආකාරයෙන්ද කියලා සොයලා බැලීම.”

මාතෘකා